හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (2 කොටස)

දෙමළ විමුක්ති අරගලයේ පිබිදීම
sri-lanka6
තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය හැරුණු විට වෙනත් විසදුමක් නොලැබෙන බවත්, තවදුරටත් ආයාචනය තුල අයිතීන් ලබා ගත නොහැකි බවත් දෙමළ තරුණ පෙල වටහා ගනිමින් තිබුනි. පැරිසියේ, බර්ලිනයේ සිසු අරගලවලට මෙන්ම ප්‍රාග්(චෙකොස්ලෝවැකියාවේ) වසන්තයේ සුවඳ මේ වන විට දකුනේ තරුණයන්ට පමණක් නොව උතුරේ තරුණයන්ට ද දැනී තිබුනි. එමෙන්ම ලෝක විමුක්ති අරගලවල මෙන්ම දකුණේ තරුණ අරගලයේ ආශ්වාදය ද ලබමින් දෙමළ තරුණ බලවේග අයිතීන් දිනා ගැනීමේ අරගලය සන්නද්ධ මාවතට යොමු කරනු ලැබීය. මුලින්ම දෙමළ තරුණ පිරිස සංවිධානය වූ ‘තමිල් මානවර් ෆියරවෛයි’ සන්නද්ධ මාවතට පිවිසෙන්නේ තම ජන කණ්ඩායම තුලම සිංහල රාජ්‍ය සමග එක්ව සිටින ප්‍රභූන්ට එරෙහිව අවි අමෝරමිනි. දොරේ අප්පා ඝාතනය එක් උදාහරණයකි.
දෙමළ ජනයාගේ ඉල්ලීම් පමණක් නොව දකුණේ තරුණයින්ගේ ඉල්ලීම්වලටද ඔල මොල ආකාරයෙන් මුහුණ දෙන ලාංකීය පාලක පන්තිය (මෙහිදී පක්ෂ භේදයක් හෝ දක්ෂිණාංශික හෝ වාමාංශික වෙනසකින් තොරව) රටේ පවතින සමාජ දේශපාලන ප්‍රශ්නයට ඔවුන් දන්නා එකම විසදුම වන ගිනි සහ යදම්වල පිහිට සොයයි. 1971 දී දහස් ගණනක් මරා දමමින් දස දහස් ගණනක් හිර කරන අතරම ඒ අවධියේම තම අයිතීන් උදෙසා සටන් කරන දෙමළ ජන නායකයින් හිර ගෙවලට ගාල් කරනුයේ ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණවලට වෙඩි උන්ඩයෙන් පිලිතුරු දෙමිනි. මේවායේ අනිවාර්ය ප්‍රතිඵල ලෙසින් හැත්තෑ ගණන් අග වන විට දෙමළ තරුණ කණ්ඩායම් තව තවත් රැඩිකල් මාවතටම නැඹුරු වන අතර මුලින්ම නව දෙමළ කොටි සංවිධානය පිහිටුවා ගනු ලබයි.
වැඩි කල් නොගොස්ම මෙම සංවිධානය තුල ඇතිවන භේද භින්න වීම් තුලින් ප්ලොට්, එල්ටීටීඊ, ඊපීආර්එල්එෆ්, ඊරෝස් සහ ටෙලෝ ලෙසින් සංවිධාන 5 ක් සෑදුනි. මේවා අතරින් එල්ටීටීඊ සහ ටෙලෝ දෙමළ ජාතික වාදය පමණක් පෙරදැරි කර ගන්නා අතර ප්ලෝට්, ඊපීආර්එල්එෆ් සහ ඊරෝස් දෙමළ ජාතික මෙන්ම වාම නැඹුරුවක් දරනු ලබයි. මෙම කණ්ඩායම් අතරින් වාම නැඹුරුවක් ඇති ප්ලොට් සහ ඊපීආර්එල්එෆ් සංවිධාන සිංහල ප්‍රගතිශීලීන් සමග ඔවුන්ගේ සම්බන්ධකම් ගොඩ නැගීම අරඹයි.
මා ඉහතින් සඳහන් කළ ආකාරයෙන් හැට ගණන් වන විට ලෝකයේ කඳවුරුගතව තිබුනේ සෝවියට් රාජ්‍ය සමග බැදුණු සමාජවාදී කඳවුර සහ ඇමරිකාව මුල් කරගත් බටහිර ධනවාදී කඳවුර ලෙසිනි. හැට ගණන්වනවිට ලෝකය පුරා රටවල දේශපාලනයට මෙම කඳවුරු කෙලින්ම මැදිහත් වූයේ ඒ ඒ රටවල අභ්‍යන්තර කණ්ඩායම් සහ රාජ්‍යයන් වලට සහාය සපයමිනි.
ඉන්දියාව, සෝවියට් හිතවාදී කණ්ඩායමට අයත් විය. ලංකාවේ සිරිමා බණ්ඩාරනායක රජය ද මේ මගම ගනු ලැබීය. 77 මැතිවරණයෙන් පසුව ජේ. ආර්. ගේ රජය එතෙක් පැවති නොබැඳ පිළිවෙතින් ඉවත් වෙමින් ඇමරිකන් කඳවුරට එක්වීමත් සමග ඉන්දියාව එතෙක් තමන් ලංකාව සමග පවත්වාගත් මිතුරු පිළිවෙත වෙනස් කරමින් දෙමළ තරුණ කණ්ඩායම්වලට සහාය සහ ආරක්ෂාව දෙන පිලිවෙතකට මාරු විය. මෙම තත්වය දෙමළ විමුක්ති සටනේ විශාල පිම්මක් ඉදිරියට පැන්නූ අතර මෙතෙක් ලංකා රාජ්‍යයට ලොකු බලපෑමක් කළ නොහැකි තත්වයක සිටි සටන් කරුවන්ට විශාල වාසියක් අත්කර දෙනු ලැබීය. දකුණු ඉන්දියානු යුද්ධ කඳවුරුවල ඉන්දියාවේ යුධ පුහුණු කරුවන් මගින් යුධ පුහුණුව, ආයුධ මෙන්ම මුදල් ද මොවුන් වෙත ලබා දෙන ලදී.
අසූ ගණන්වල මුලදී විශේෂයෙන්ම 83 කලු ජූලියෙන් පසුව වඩා වඩාත් ප්‍රභලව වැඩෙන දෙමළ තරුණ කණ්ඩායම්වල ආරක්ෂකයා ලෙස පෙනී සිටින ඉන්දියාව ඔවුන්ගේ මැදිහත්වීම තුලින් භූතානයේ තිම්පු නුවරදී කැරලිකරුවන් සහ ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා සංවිධානය කරනු ලබයි.
මෙම දෙමළ කණ්ඩායම් අතරද එදා තිබුනේ එකිනෙකා නොඉයිවසන සතුරු ආකල්පයකි. ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ සංවිධානය උමා මහේෂ්වරන් මරා දැමීමට දකුණු ඉන්දියාවේදී කීප වතාවක්ම උත්සාහ කරනු ලැබීය. මේ කෝන්තර කොපමණ තිබුනා වුවත් මේ කණ්ඩායම් එක පිලකට ගෙන ලංකාව සමග තිම්පු නුවරදී සාකච්ඡා කිරීම සඳහා යොමු කිරීමට ඉන්දියාව සමත් විය.
මේ අවධියේම ඊපීආර්එල්එෆ් සහ ප්ලොට් සංවිධාන දකුණේ සිංහල ප්‍රගතිශීලීන් සමග සහයෝගීතාවයන් අරඹා තිබුණි. ප්ලොට් සංවිධානය විසින් පවත්වාගෙන ගිය ‘ වොයිස් ඔෆ් ටැමිල් ඊලාම් ‘ ගුවන් විදුලි වැඩසටහන් වලට සවන් දීමට සිංහල ජනයා පුරුදු වී සිටියහ. නමුත් දෙමළ ජාතිවාදය මත පදනම් වී සිටි එල්ටීටීඊ සංවිධානය දෙමළ – සිංහල සහයෝගය තරම් පිළිකෙව් කළ යමක් තවත් නොවීය. ඔවුන් රටතුල මෙන්ම ජාත්‍යන්තරය තුලද සහයෝගිතාවය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර එසේ සහයෝගීතාවය ඇති වීමෙන් තමන් ඉදිරිපත් කරන ‘වෙන්වීම එකම විසදුම’ යන න්‍යාය යුක්ති යුක්ත කළ නොහැකි වනවා යැයි පැවසීය.
එපමණක් නොව සිංහල හමුදාවන් විසින් උතුරේ ගමකට පහර දුන් විට මායිම් ගම්මානවලට පනින එල්ටීටීඊ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීම තුලින් ඔවුන් පෙන්නුම් කලේ අපි සහ තොපි අතර සමාධානයක් නැත කියාය. අපට තොප සමග සහජීවනයක් නැත කියාය. 1985 මැයි 14 වන දින  අනුරාධපුර ශ්‍රී මහා බෝධියට කඩා වදින එල්ටීටීඊ සන්නද්ධ කණ්ඩායම් සිල් රෙදි ඇඳ මල් අතින් ගත් ගැහැණුන් මිනිසුන් පමණක් නොව කුඩා ලමයින්ද ඉවක් බවත් නැතුව මරා දැමුවේ එතෙක් ලෝකයේ කිසිම ජාතික විමුක්ති ව්‍යාපාරයක් අනුගමනය නොකළ ගමන් මගකට පිවිසෙමිනි. එදා අනුරාධපුරයේදී මිය ගිය ප්‍රමාණය 146 දෙනෙකි. සිංහලයා තුල යම්කිසි වූ මධ්‍යස්ථ බවක් තිබීම, දෙමළ ජනයාගේ ඉල්ලීම් ගැන සහයෝගයක් තිබීම එල්ටීටීඊ සංවිධානය නොඉවසීය. ඒවාගේම දකුණේ මෙන්ම උතුරේ මෙම විමුක්ති කණ්ඩායම් තම සංවිධාන තුල ඇතිවන වෙනත් අදහස් නොඉවසූ අතර ඒවා නිශේධ කලේ ප්‍රශ්න කළවුන් මරා දමමිනි. ජනතා විමුක්ති පෙරමුණ, එල්ටීටීඊ, ප්ලොට්, ඊපීආර්එල්එෆ් යන සෑම සංවිධානයක් තුලම මෙය දකින්නට තිබුණු ලක්ෂණයයි.
අසූ ගණන් මැද භාගයේ දෙමළ විමුක්ති සංවිධාන පොදුවේ යම්තාක් දුරට බලයක් සහ ජනතා විශ්වාසයක් දිනාගත් අතර මෙම සංවිධානයන් අතරින් පැහැදිලිවම සිංහල විරෝධී මාවත ගනු ලබන එල්ටීටීඊ සංවිධානය හා ටෙලෝ සංවිධානය අතර දෙමළ ජාතික වාදයේ පෙරගමන් කරු වීමේ අයිතිය දිනා ගැනීමට පැවතුණු ගැටුම නිම කරනු ලබන්නේ ලේ ගංඟාවලිනි. 1986 අප්‍රේල් මස 29 වෙනි දින ටෙලෝ සංවිධානයේ නායක ශ්‍රී සභාරත්නම් ඇතුළු කාඩර්වරු 450 ක් එල්ටීටීඊ සංවිධානය විසින් යටත් කර මරා දමනු ලැබීය.
සිංහල රජයේ හමුදා උතුරුකරයට බෝම්බ දැමීමට එරෙහි වෙමින් ඉන්දියාවේ මැදිහත් වීම තුල 1987 ජූලි මස ඉන්දියාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කරන  ඉන්දු- ලංකා ගිවිසුමට සිංහල ජාතිවාදීන් මෙන්ම එල්ටීටීඊ සංවිධානයද එකඟ නොවෙති. මෙහිදී සිංහල ජාතිවාදීන්ගේ මතය වන්නේ ඉන්දියාව ‘දෙමළුනට වෙනම රාජ්‍යයක්’ දීමට සැරසෙන බවයි. දේශප්‍රේමය නැමැති අලංකාර දවටනයේ දවටන සිංහල ජාතිවාදය පෙර දැරි කර ගන්නා ජනතා විමුක්ති පෙරමුණ තම අරගලය බොරදියේ අරඹමින් මෙම ගිවිසුමට එරෙහිව යුධ ප්‍රකාශ කරයි. එල්ටීටීඊ සංවිධානය එම ගිවිසුමට එරෙහි වන්නේ බලය බෙදා හැරීමේ විසදුමට ඔවුන් එකග නැති බැවිනි. ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ‘වෙනම රාජ්‍ය’ ලබා ගැනීම පමණි. මෙහිදී පැහැදිලිව දැකිය හැකි ලක්ෂණය වන්නේ දෙමළ ජාතිවාදීන් සහ සිංහල ජාතිවාදීන් එකම ගොඩක සිටීමයි. දෙකොටසම දේශපාලන බලය බෙදා හැරීමේ විසදුමකට එකග නොවෙති. ‘සිංහල ජාතිවාදීන් දෙමළුනට කිසිවක් නොදෙන්නෙමු’ යන ප්‍රතිපත්තියටත්, දෙමළ ජාතිවාදීන් ‘අපට සියල්ලම මිස ටිකක් වැඩක් නැත’ යන ස්ථාවරය තුල සිටිමිනි.
 87 ජුලිවලින් පසුව ඉන්දීය සාම සාධක හමුදාවන් උතුරට පැමිණෙන අතර එල්ටීටීඊ සංවිධානය ඔවුනට එරෙහිව සටන් කිරීම ආරම්භයි. සිංහල ජාතිවාදී ස්ථාවරයක සිටින ජනතා විමුක්ති පෙරමුණ සිංහලයින් අතරින් දෙමළ ජනහිතවාදී ප්‍රගතිශීලී මතයක් දරන සියල්ලන් මරා දැමීම අරඹයි. ජනතා විමුක්ති පෙරමුණේ නොවන වමේ පක්ෂවල හෝ බුද්ධිමතුන් මෙම පනතට ආශිර්වාද කලේ එයින් ජාතික ප්‍රශ්නයට නියම විසදුම ලැබෙන බව ඔවුන් විශ්වාස කළ නිසා නොව එතුලින් අඩුම තරමින් දෙමළ ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් සෙවීමේ ආරම්භයක් ඇතිවන බව වටහා ගැනීමෙනි. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මේ පනතට පක්ෂ සියලු දෙනා ජාතිද්‍රෝහීන් ලෙස නම්කළ  අතර ඔවුන් ඝාතනය කිරීම ඇරඹිණි. විජය කුමාරතුංග ඝාතනය එක් උදාහරණයකි. ඉවක් බවක් නැති මෙම ද්‍රෝහීන් ඝාතනය තම සංවිධානයේ ළාබාල සාමාජිකයන් යොදා ගනිමින් කරන විට ශ්‍රී ලංකා රජය එදෙස බලා සිටියේ සංතෝෂය කැටි කරගෙනයි.
අවසානයේදී ප්‍රගතිශීලීනට තම දිවි රැක ගැනීම සඳහා රජයේ උදව් පැතීමට නැතිනම් රාජ්‍ය රැකවරණය පැතීමට සිදුවිය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රගතිශීලී නායකයින් ප්‍රමාණයක් මේ අවධියේ ඝාතනය කරනු ලබයි. ජනාධිපති ප්‍රේමදාස මුලින්ම මෙම ප්‍රගතිශීලීන් ඝාතනයට ඉඩහැර ඒ තුලම මෙම ලාබාල දේශප්‍රේමීන් උද්දාමයට පත් වීමට ඉඩහැර ඉන්පසු ඔවුන් හමුදා නිලධාරීන්ගේ දෙමාපියන් ඝාතනය කරන තත්වයකට යොමු කරවීය. ඉන්පසුව ලංකා රාජ්‍ය ඔවුන්ව ඝාතනය කිරීමක් අරඹන විට එම මිනිස් ඝාතනයන්ට එරෙහිවීමට එකදු  ප්‍රගතිශීලියෙකුවත්  ඔවුන් විසින් ඉතිරිකර නොතිබිණි. ඉතා කෙටි කලක් තුල හැට දහසක් පමණ තරුණ තරුණියන් රාජ්‍ය නිලලත් සහ නිල නොලත් හමුදාවන්ගේ ගොඳුරු බවට පත්විය. මෙසේ දකුණ සුද්ධ කිරීමට ලංකා හමුදාවන්වලට පහසුකරමින් ඉන්දීය හමුදා උතුරේ පාලනය තමන් අතට ගනු ලබයි.
ජේ.ආර්ලා ප්‍රේමදාසලා ඉන්දු -ලංකා ගිවිසුම අත්සන් කලේ දෙමළ ජනතා ප්‍රශ්නයට හැබෑවටම විසදුමක් දීමේ වුවමනාව ඔවුන් තුල තිබුණ නිසා නොව ඉන්දියාවේ බලපෑම නිසාවෙනි. ඉන්පසුව තාවකාලිකව ඉන්දීය සාම සාධක හමුදාවට උතුරේ ක්‍රියාත්මක වීමට ඉඩහැරියේ දකුණේ ‘ත්‍රස්තවාදය’ තමනට අපහසුවකින් තොරව අතුගා දැමීමට මග පාදා ගැනීම සඳහායි. හැට දහසක් මළ කඳන් දකුණේ මං මාවත්වල බලු කපුටන්ට මහ මඟ දැමුයේ රජයේ හමුදාව සහ නිල නොලත් හමුදාවනුත් ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගිනුත් කපා කොටා කැබලි කරමිනි. ලක් ඉතිහාසය අවිචාර සමය ලෙස හැදින්වෙන 87-90 භීෂණ කාලයට වගකිවයුතු මිනී මරුවන් අදත් ලංකා සමාජයේ යහතින් වැජබෙති. ඒ අපරාධ පිළිබඳ කිසිදු වග විභාගයක් ලංකා රාජ්‍ය විසින් හෝ නීතිය මගින් විමසා නොමැත. එසේ අපරාධ කළවුන් දණ්ඩ මුක්තිය ලබමින් සමාජයේ යහතින් වැජඹෙනු දකින බාල පරපුර ලබාගත් පණිවුඩය වූයේ බලය සහ මුදල් ඇත්නම් තමන්ට රිස්සක් කළ හැකි බවයි.
දකුණේ ‘ත්‍රස්තවාදය’ සුද්ධ කර හමාර වූ ප්‍රේමදාස රජය උතුරේ පළාත් සභාවට ඡන්දයෙන් පත්ව සිටි ඊපීආර්එල්එෆ් රජයට අයිති බලතල ලබානොදෙමින් ක්‍රියා කරන අතරම මේ වන විට ඉන්දීය සාම සාධක හමුදා මගින් කැලෑවලට කොටු කර සිටි එල්ටීටීඊ කාඩර්වරුන් සමග පෙම් සබඳතා ඇතිකර ගැනීම අරඹයි.
මගේ මතය අනුව දෙමළ විමුක්ති අරගලය විනාශ කිරීමේ ආරම්භය මෙයයි. මේ වන විට දෙමළ ජාතිවාදය සහ ෆැසිස්ට්වාදී ලක්ෂණයන්ගෙන්ද සමන්විතව සිටි එල්ටීටීඊ සංවිධානය කැලෑවලට සීමා වී පැවතුනේ ඉන්දීය සාම සාධක හමුදාවේ ප්‍රහාරයන් තුලිනි. ඊපීආර්එල්එෆ් සංවිධානය තමනට ඉන්දු – ලංකා ගිවිසුම අනුව 13 වන සංශෝධනය තුලින් ලැබෙන පළාත් ආණ්ඩුවේ බලය ලබා ගනිමින්  ඔවුන්ගේ ප්‍රථම ආණ්ඩුවට සිංහල ඇමතිවරුන් දෙදෙනෙකුද පත් කරයි.( ජෝ සෙනෙවිරත්න සහ දයාන් ජයතිලක) මෙම දෙමළ විමුක්ති අරගලයේ කොටස්කරුවන් දකුණේ සිංහල ප්‍රගතිශීලී බලවේග සමග සහයෝගීතාවය සෙවීම පමණක් නොව ඔවුන් එය (ඔවුන්ගේ ප්‍රමාණයට අනුව) ක්‍රියාවටද නැංවීම දෙමළ ජාතිවාදය මෙන්ම සිංහල ජාතිවාදී රාජ්‍යයේද ඇසේ කටු ඇණීමකි. මේ වන විට ප්ලොට් සංවිධානයද දකුණේ ප්‍රගතිශීලීන් සමග සහයෝගයන් ගොඩනගා තිබූ අතර මේ දෙකොටසම උතුරේ තම කඳවුරු තුල දකුණේ සටන් කාමීන්ට ආයුධ පුහුණුවක් ලබාදෙමින් පැවතිණි.
සිංහල ජාතිවාදී නායකයන් වහාම දෙමළ ජාතිවාදී එල්ටීටීඊ සංවිධානය සමග සන්ධානගත වන්නේ ප්‍රේමදාස තුල තිබූ ඉන්දීය විරෝධයද පෙරට දමමිනි. ‘එක අන්තයක් විසින් අනෙක් අන්තයට සහයෝගය දෙනු ලබයි’ යන කියමන මෙහිදී මනාවට හදුනාගත හැක. කැලේ සිටි එල්ටීටීඊ කාඩර්වරු කොළඹට එන්නේ හමුදා හෙලිකොප්ටර් වලිනි. හිල්ටන් හෝටලයේ නවාතැන් ගන්නා ඔවුන් ජනාධිපති ප්‍රේමදාස මුණගැසී සාකච්ඡා කරන්නේ හිත මිතුරන් ලෙසිනි. ආයුධ මෙන්ම මිලියන් ගණනින් මුදල් ආධාරද ලබන ඔවුන් ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂාව ඇතිව උතුරු නැගෙනහිර ක්‍රියාත්මකවීම අරඹයි. මෙයට සාපේක්ෂකව  ජනාධිපති ප්‍රේමදාස ඉන්දීය හමුදාවන්ට රටින් පිටවන ලෙස කරන බලපෑම අනුව ඔවුන් තම හමුදා ඉවත්කර ගැනීම අරඹයි. පොලීසිවල සහ හමුදාවල්වල ආරක්ෂාව ඇතැතිව රජයේ ආයුධ සහ මුදල් වලින් සන්නද්ධ වෙමින් එල්ටීටීඊ කාඩර්වරුන් විසින් ඡන්දයෙන් පත්වී සිටි ඒවන විට සිංහල රාජ්‍ය සමග බලය බෙදා හදා ගැනීමේ පිළිවෙතකට යොමුව සිටි ඊපීආර්එල්එෆ් සහ ප්ලොට් සාමාජිකයන් සමූළ ඝාතනය අරඹයි. මෙහිදී හැබෑවටම සිදු වන්නේ දෙමළ ජාතික විමුක්ති අරගලයේ එක්තරා හෝ වාම නැඹුරුවක් ඇතිව සිටි සිංහල ජනයා තම සතුරන් ලෙස නොසැලකූ සිංහල ප්‍රගතිශීලීන් සමග සහයෝගයෙන් වැඩ කිරීම ඇරඹූ දෙමළ විමුක්ති කණ්ඩායම් සිංහල රාජ්‍ය විසින් ආයුධ සහ ආරක්ෂාව ලබාදී දෙමළ ජාති වාදී සහ ෆැසිස්ට් මත දැරූ එල්ටීටීඊ සංවිධානය ලවා සමූළ ඝාතනය කරවීමයි. සිංහල ජාතිවාදී රාජ්‍ය දෙමළ ජාතිවාදය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සැබෑ ලෙසම සිංහල – දෙමළ සහයෝගය සුණුවිසුනු කරනු ලබයි.
මෙම විනාශය අවසානයේ දෙමළ ජාතිවාදී කණ්ඩායම වන එල්ටීටීඊ සහ සිංහල ජාතිවාදී රාජ්‍ය හමුදාවන් පමණක් පසමිතුරු බලවේග ලෙස ඉතුරු වේ. දෙමළ විමුක්තිකාමී ප්‍රගතිශීලී බලවේග විනාශ කළ විගසම කරුණා අම්මාන්ගේ අණදීම මත එල්ටීටිඊ සංවිධානය විසින් මෙතෙක් තමනට ආරක්ෂාව දුන් සිංහල පොලිස් නිලධාරීන් 900 ක් එක් දිනක් තුල අත්අඩංගුවට ගෙන මරා දමනු ලබන්නේ ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ආශිර්වාදය මතයි.
මේ විනාශය එල්ටීටීඊ සංවිධානය විසින් නොකරාවි යැයි සිතන්න තරම් ප්‍රේමදාසලා බබාලා නොවීය. ඒ වන විට ඔවුන්ට උපදෙස් දෙනු ලැබුවේ ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ වැනි සංවිධාන වලිනි. නමුත් සිංහල – දෙමළ ප්‍රගතිශීලීන් එක්වීම වැලැක්වීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි. පොලීසියේ 900 ක් හෝ සිංහල මායිම්ගම්මානවල ගොවියන් හෝ ප්‍රේමදාසලාට කරුංකා ගෙඩි තරම්වත් නොවටී.
මෙයින් පසු වෙනත් සංවිධාන නොමැති දෙමළ ප්‍රදේශය තුල එකම විමුක්ති සංවිධානය වූ එල්ටීටීඊ සංවිධානය සීඝ්‍රයෙන් වැඩීම අරඹයි. දෙමළ ජනයා තුල සියලු ප්‍රගතිශීලී බලවේග සහ බුද්ධිමතුන් එල්ටීටීඊය විසින්ම මරා දමනු ලබයි. අඩුවැඩි වශයෙන් සියළුම දෙමළ විමුක්ති කණ්ඩායම් එක්කෝ තම සතුරා වන සිංහල රාජ්‍යයේ පිහිට පතයි. නැතිනම් රටින් පැන යාම හෝ එල්ටීටීඊ සංවිධානයට යටත්වෙනු ලබයි. එල්ටීටීඊ සංවිධානයේ ඝාතනයන් වලින් දිවි ගලවා ගැනීමට තම සතුරා වූ සිංහල ජාතිවාදී රාජ්‍ය පිහිට පැතීමට සිදුවන අනෙකුත් දෙමළ විමුක්ති සංවිධානවලට සහ ප්‍රගතිශීලී බුද්ධිමතුනට අවසානයේ ‘ජාති ද්‍රෝහීන් ‘ යන ලේබලය අලවනු ලබයි. කාලයාගේ අවෑමෙන් මිනිසුන් හදුනන්නේ විමුක්ති කොටි සටන් කරුවන් සහ සතුරා සමග සහජීවනයෙන් සිටින ජාතිද්‍රෝහීන් ගැන පමනි. මේ අනුව ඉතිහාසය නිර්මාණය වන්නේ ජාතිවාදී බලවේගයන්ගේ සැලසුමට අනුවයි.
දකුණේ ගමකට, පන්සලකට, දුම්රියකට, බස්රියකට බෝම්බ තබමින්, මුස්ලිම් පල්ලිවලට පැන එතුල යාඥා කරමින් සිටි සැදැහැවතුන් සමූළ ඝාතනය කරමින් එල්ටීටීඊ සංවිධානය නියම ෆැසිස්ට් සංවිධානය ස්වරූපයෙන් සිංහල සහ මුස්ලිම් ජනයාගේ වෛරය තමන් (දෙමළ) වෙත යොමු කර ගනී. ප්‍රේමදාසලාගේ දැන හෝ නොදැන කළ සැලැස්ම සාර්ථක වී හමාරය. දෙමළ ජාතිවාදීන්ගේ ෆැසිස්ට්වාදී ක්‍රියාවන් ඉදිරියේ සිංහල ප්‍රගතිශීලීන් පවා දෙමළ විමුක්ති අරගලයට සාප කරන තත්වයක් ඇති කරයි. දෙමළ ජනයාගේ සාධාරණ ප්‍රශ්න ගැන කිසියම් හෝ අනුකම්පා සහගත හැඟීමක් තිබූ සිංහලයා පවා දෙමළ ජනයාටම වෛර කරමින් සිංහල ජාතිවාදය වැළදගනී. එම තත්වය තීව්‍රවීමට ජනතා විමුක්ති පෙරමුණ, සිහළ උරුමය හෝ එවැනි සිංහල ජාතිවාදී බලවේග සිංහල ජාතිවාදය අවුස්සමින් දෙමළ විරෝධය සිංහල සමාජ ගත කරයි. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වන්නේ දස දහස් ගණනින් සිංහල තරුණයන් දැඩි දෙමළ විරෝධයකින් සහ සිංහල ජාතිවාදයෙන් සන්නද්ධව යුද්ධය වෙත ඇදී යාමයි.  මහින්දලාගේ කාලයේදී ඵලදරන්නේ ප්‍රේමදාස එදා අටවන මේ උගුලයි.
සිංහල ජාතිවාදය සහ දෙමළ ජාතිවාදය අතර කෙරෙන සටනකින් අනිවාර්යෙන්ම ජය ගන්නේ වැඩි පිරිස සහ වැඩි බලය ඇති කොටසවන සිංහල ජාතිවාදයයි. එදා ප්‍රේමදාස ඇටවූ උගුල නිසියාකාර 2009 මැයි 20 වෙනිදා වන විට ගැස්සෙනු ලබයි. යම් අයුරකින් දෙමළ විමුක්ති අරගලය ඇරඹුන මුල් අවධියේ මෙන් එම අරගලය සිංහල ප්‍රගතිශීලී කොටස් සමග අතිනත ගෙන ක්‍රියාකලානම් කිසි දිනෙක 2009 මැයි අවසනානය දෙමළ විමුක්ති අරගලයට හිමි නොවන්නට ඉඩ තිබුණි.
මතු සම්බන්ධයි
රංජිත් හේනායකආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *