මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම – රංජිත් හේනායක

download (3)අද උදේ මා සමග කථාකළ මිතුරෙකු ඊළඟ ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ‘මහින්දට තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලන්න නීතියෙන් ඉඩ නැතිලු නේද?’ කියා පැවසීය. ‘නීතියෙන් ඉඩ’ යන අදහස ලංකාවේ අද පවතින ක්‍රියාදාමයට කොතරම් වැදගත්කමක් දෙයිද? එසේ නැත්නම් යමක් නීතිමයද නීති විරෝධීද යන්න අද ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාදාමයට කොතරම් අදාළ ද යන්න සිතා බැලිය යුතුය. අද වන විට ලංකාවේ නීතිය යනු බලයයි. බලය අත්පත්කර ගත් අයගේ උවමනා එපාකම් අනුව නීතිය ක්‍රියාත්මක වෙයි. එනිසා ‘නීතියෙන් ඉඩ’ යන්න තීරණය වන්නේ බලයේ සිටින පවුල් කල්ලියේ උවමනා එපාකම් මතය. ලංකා සමාජයේ ජීවත්වන වයස 40 ඉක්මවූ අයෙකුට ලංකාවේ නීතිය  ක්‍රියාත්මක වූ ඉතිහාස ගැන මතකයන් ඇති හෙයින් ඔවුන්ට ‘නීතියෙන් ඉඩ’ යන්න අර්ථ සහිත යෙදුමකි. නමුත් වයස 40ට අඩු (බොහෝ දෙනෙකුට) නීතියෙන් ඉඩ තිබීම ගම්‍ය වන්නේ බලය ඇති සහ බලය නැති යන අර්ථ පෙරදැරිවයි. එනිසාම අද ලංකා සමාජයේ වැඩි දෙනෙකු නීතිය ක්‍රියාත්මක වීම වටහා ගන්නේ බලය ඇත්ද නැද්ද යන්න මතයි. එසේ නැත්නම් බලවතාගේ උවමනාව අනුවයි. එනිසාම ඔවුන්ද බලයේම කොටස්කාරයෙකු වී තමාද නීතියේ හිමිකරුවකුවීම සඳහා බලය ලබා සිටින අයටම ආවඩනු ලබයි. මෙය වෙනත් ආකාරයකින් ගන්නේ නම් රජකෙනෙකු සිටින රටක රජුට, ඔහුගේ සෙම්පතියන්ට, රඳළ අධිපතීන්ට හිතවත් වීම තුලින් හා පඬුරු පාක්කුඩම්දීම තුලින් තාන්න මාන්න ලබා ගැනීමක සමාජ ක්‍රියාදාමයක් පවතී. අද ලංකාව නම් භූමි භාගය තුල වෙනත් නම්වලින් ක්‍රියාත්මක වූවත් සිදුවන්නේ මේ අතීත ක්‍රියාදාමය වර්තමානයේ ක්‍රියාත්මක වීමයි. නීතිය යනු බලය යැයි හදුනාගත් සමාජයක ‘ස්වාධීන නීති’යක් ගැන සිතීම සුන්දර සිහිනයක් පමනි.

ලංකාවේ ජනාධිපති මහින්දට  තුන්වන වරට තරඟ කළ හැකිද යන්න පිළිබඳ නීති විශාරදයන් අද වන විට තර්ක නගනු දැකිය හැක. ඒ අනුව ඔවුන් පවසන්නේ ලංකාවේ ව්‍යවස්ථාවට අනුව එයට ඉඩක් නැති බවයි. නමුත් ලංකා සමාජය එය හදුනාගෙන ඇත්තේ 18 වන සංශෝධනයට අනුව මහින්ද රාජපක්ෂට තුන්වෙනි වරටත් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බවයි. මේ මතය 18 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමත් සමගම සමාජ ගතකළ ප්‍රචලිත මතය වේ. ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ තරඟ කරන විට ඔහු තරඟ කරන්නේ බලය ඇති කණ්ඩායමේ ප්‍රධානියා වශයෙනි. එවිට එයට විරුද්ධ වන්නේ කවුද? නමුත් අපි මොහොතකට 18වන සංශෝධනයේ සුළු අඩුවක් නිසා ඉඩ ඇහිරී ඇතැයි සිතමු. බලයේ සිටින මහින්ද තරඟ කරන්නේ නම් එය වලක්වන්නේ කවුද? මහාධිකරණයට එය කළ හැකිද? අග්‍ර විනිශ්චයකාරයාට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට එය කිරීමේ ප්‍රායෝගික බලයක් තිබේද? එසේ නැතිබව නොදන්නේ පුංචි දරුවන් පමනි. ශිරාණි බණ්ඩාරනායක සිදුවීම පමණක් නොව බොහෝ අධිකරණ ක්‍රියාදාමයන් නීති විරෝධීව සිදුවන බව නොදන්නේ කවුද? ඒ පිළිබඳ ජනතාවට වගේ වගක් ඇත්ද? එසේ නම් ලංකාවේ ජනතාව එම වැරැද්ද නොදන්නවා සේ සිටිමින් ඒ සිදුවීම අනුමත කරනු ලබයි.

ලංකාවේ අද පවතින ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය එක් කරමින් 1987 පළාත් සභා ස්ථාපිත කරන අතර එදා සිට අද දක්වාම එම පළාත් සභා රට පුරා ක්‍රියාත්මක වෙයි. නමුත් ලංකවේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාවට අනුව මෙම පළාත්සභාවන්වලට පවරා ඇති බලය 1987 සිට අද දක්වාම බලයේ සිටින සෑම රජයක් සහ ජනාධිපතිවරයෙක් විසින්ම පවරා නොදීම තුලින් රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරනු ලබයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට ‘නීතියෙන් ඉඩ’ නැත. එය උල්ලංඝනය කිරීම නීති විරෝධීය. නමුත් වසර 27 ක් තිස්සේ එය නොකඩවාම ප්‍රසිද්ධියේ කරනු ලබයි. නමුත් මේ නීතිය උල්ලංඝනය කිරීම මේ වන තුරු ප්‍රශ්නයක් වී ඇත්තේ කාටද? ජනතාවට? අධිකරණයට? නැත. අපි මිත්‍යවන් මත ජීවත්වන ජනතාවකි. නීතියක් තිබේය, එය ක්‍රියාත්මකවේය , යන මිත්‍යාව අපි අදහමු. ඒ මත අපි ජීවත්වෙමු. ඒ අපි මිත්‍යාවන්ට පෙම් කරන ජනතාවක් හෙයිනි.

මිත්‍යාවට අපි කොතරම් පෙම් කරනවාද කියන්නේ නම් අපි අපේ සිංහල භාෂාවේ වචනයක ඇති අර්ථය අපි අමු අමුවේම අනෙක් පිට හරවා ගෙන එම නොපිට හරවා ගත් වචනාර්ථය භක්තියෙන් වැළඳගෙන ඇති හැටි සහ එයට පෙම් කරමින් ආවඩන හැටි බලමු. සන්ධීය යන සිංහල වචනය නැතිනම් ගමේ භාෂාවෙන් හන්දිය යන වචනය තුල ගම්‍ය වී ඇත්තේ විවිධ පැති හෝ විවිධ කොටස් එකට එක්වීම හෝ එකට සම්බන්ධවීම මිස වෙන්වීම හෝ කඩා දැමීම නොවන බව අපි දනිමු. සිංහල භාෂාව ඉගන ගන්නා අය ‘ස්වර සන්ධිය’ එසේ නැතිනම් පුර්වාරෝප සන්ධිය ආදී සන්ධීන් තුලින් විස්තර කරන්නේ විවිධ වචන එකට එක්වීම තුලින් තනි වචනයක් සැදෙන ආකාරය භාෂා තර්කයට අනුව ඉගන ගැනීමයි. වචන දෙකක එකතුවකින් එකක් සැදෙන ආකාරය තර්කාන්විතව සන්ධිගතවීම ලෙස අපි හදුන්වමු. නමුත් මෙම සන්ධිය දේශපාලන ක්‍රමයට ආදේශ කළ විගසම ගණිතය පිළිබද මහාචාර්යවරු, ජනාධිපතිගේ සිට මැති ඇමතිවරු, තර්ක ශාත්‍රඥයන්ගේ සිට ගමේ ගොඩේ මිනිසා දක්වා සන්ධීය ක්‍රමය තුල වෙන්වීම, කඩා වෙන්කිරීම හෝ බෙදීම යන අර්ථය තම මනසේ මවා ගනී. එසේ මවා ගන්නා ඔවුන් සන්ධීය යනු කඩා වෙන්කිරීමයි එසේ නැත්නම් බෙදා වෙන්කිරීමයි යනුවෙන් හඩ තලයි.  බලන්න අපි කොතරම් ආශ්චර්යමත් ජනතාවක්ද? තමන්ගේ භාෂාවේ ප්‍රධාන මෙන්ම වැදගත් වචනයක් මිත්‍යා අර්ථකතනයකට නතුකර එයට පෙම්කර එම මිත්‍යාව තුල ජීවත් වන්නේ මොනතරම් මනරම් ලෙසද?

එනිසා අපි සමාජයක් ලෙස මිත්‍යාවන් මත ජීවත්වන සමාජයක් නිසාවෙන් මිත්‍යාවෙන් මිදීමට සැබෑ උවමනාවක් අපට නැති කමින් රට ගිලී සිටින මේ අන්ධකාරයෙන් ලෙහෙසියෙන් ගොඩ ගත නොහැකි වනු ඇත. මේ වන විට සමාජය වසා පැතිර ඇති මිත්‍යාව තුල අපි ස්වයං මෝහනයකට හසුව ජීවත්වන සෙයක් පෙන්නුම් කරයි.

බලන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් නිලධාරීන්ට ආයුධ පෙන්වීමට ගොස් මාංචු දැමූ දෑතින් වෙඩි තැබීමට උත්සාහ කර පොලිස් වෙඩි පහරින් මිය යන අයුරු. ලංකාවේ නීතිය, ලංකා සමාජය මෙය මිනී මැරුමක් බව නොදනී. ඒ එවැනි මිත්‍යාව විශ්වාස කරන ස්වයං මෝහනයක ලංකා නිතිය හා ලංකා සමාජය ගිලී සිටින නිසා නොවේද? කුරා කුහුඹුවාට පවා මෛත්‍රිය, කරුණාව වඩවන සිංහල බෞද්ධයා දෙමළුන් මරණ විට සාදුකාර දෙන හඬ, යතිවරු බෝධිපූජා තබමින් මිනීමරුවනට පිරිත් නූල් ගැට ගසන හැඩ, කිරිබත් රස විදින රඟ. මෙය මිත්‍යාවට පෙම් බැදීම මිස වෙනත් යමක් නොවේ. තමන් තමන්වම මිත්‍යාවක ගිල්වා තබා ගැනීමයි.

අපි ලංකා සමාජය ඉතා උසස් සංස්කෘතියකට හිමිකම් කියන වසර 2500ක සභ්‍යත්වයක් හිමි බව පවසන්නේ මහත් අභිරුචියකිනි. එසේ කියන අපි කුඩු වෙළදුන්,  ප්‍රසිද්ධියේ මිනී මරන්නන්, ස්ත්‍රීනට ප්‍රසිද්ධියේ ලිංගික බලහත්කාරකම් කරන්නන්, වැඩිම මනාප වලින් පාර්ලිමේන්තුවට යවන්නෙමු. හැන්දෑ කලුවර වැටුනාට පසු තනිවම ගැහැණියකට මහමග යාමට ආරක්ෂාව නැතිබව අපි හැමෝම දනිමු. නමුත් අපි තරම් හොඳ සමාජයක් තවත් ලොව අන් කොතැනක වේද කියා උදම් අනන මිත්‍යාවක ගිලී සිටිමු. ලංකාව යනු අද වන විට පවුල් කල්ලියක ආධිපත්‍යකට යටත් කර ගත් ඔවුන්ගේ අභිමතාර්ථයන් සඳහා සේවය කරන භූමි භාගයක් බව නොදන්නේ කවුද? ඒත් එය තමන් දන්නා බව දන්නේ කී දෙනෙක්ද? මෙය මිත්‍යාවෙන් වැසී මිත්‍යාව තුල ජීවත් වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *