මහා බ්‍රිතාන්‍ය වෙන්වීයාම සහ යුරෝපා සංගමය – රංජිත් හේනායකආරච්චි

download (3)මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් සමුගැනීමට කළ ඡන්ද විමසීමෙන් බ්‍රිතාන්‍ය වැසියන් වැඩි ප්‍රමාණයක් වෙන්ව යාම සඳහා තම කැමැත්ත පල කර හමාරය. ඒ සමගම යුරෝපය පුරා මෙන්ම ලෝකයේ වෙනත් තැන්වලද එසේ යුරෝපා සංගමයෙන් මහා බ්‍රිතාන්‍ය වෙන්ව යාම තුල ඇති විය හැකි ඵලවිපාක ගැන කතා කිරීම අරඹා ඇත. ලංකාවේද මේ ගැන කතා බහ සිදුවෙමින් පවතී.

රටවල් 28 ක එකතුවක් ලෙස පැවති යුරෝපා සංගමය එක්සත් රාජධානියේ වෙන්වීම සමඟ රටවල් 27 ක් බවට පත්වන අතර එක්සත් රාජධානියේ වෙන්වීම, එහි ආර්ථික, දේශපාලන සහ යුධමය ශක්තියේ විශාලත්වය නිසාම යුරෝපා හවුලට විශාල හිඩැසක් ඉතිරි කරනු ඇත. මෙම විශාලත්වය නිසාම රටවල් 27 ක් තිබුනා වුවත් යුරෝපා සංගමය එතුලින් දැනෙන කුඩාවීමකටද ලක්වනු ඇත. මෙසේ විශාල පාඩු සිදු කරනු ලැබුවා වුවත් බ්‍රිතාන්‍යන් වෙන්ව යාම නිසා යුරෝපා සංගමය විනාශ වීමකට මුහුණ නොපානු ලබයි. නමුත් මෙම වෙන්වීම මහා බ්‍රිතාන්‍යට බලපාන ආකාරය ඉතා අහිතකර බව පැහැදිලිය. එම අහිතකර බලපෑමේ ප්‍රමාණය තාමත් ස්ථිරවම කිව නොහැකි නමුත් මහා බ්‍රිතාන්‍යය අවුලකට යන බවත් මහා බ්‍රිතාන්‍ය පුංචි එංගලන්තය දක්වා පසුබැස්සීමකටත් ලක් වීමකටත් ඉඩ ඇත.

දැනටමත් ස්කොට්ලන්තය තමන්ට යුරෝපා හවුල සමග සිටීමට ඇති උවමානව දේශපාලන වශයෙන්ම ප්‍රසිද්ධ කර හමාරය. අවශ්‍ය නම් යුරෝපා සංගමය සමග පැවතීමට මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමේ ජනමත විචාරණයක් දෙසට තම දේශපාලනය යොමු කිරීමට ඔවුන් සූදානම් ය. ඒවාගේම ලෝක මූළ්‍ය මධ්‍යස්ථානයක් ලෙස වැජඹෙන ලන්ඩනයට මෙම වෙන්වීම කොතරම් බලපෑම් කරනු ඇත්ද යන්නත් මේ වන විටත් මූළ්‍ය ආයතනයන් ප්‍රැන්කට් නැමැති මූල්‍ය මධ්‍යස්ථාන දෙසට තම අවධානය යොමු කරමින් පවතී.

ස්කොට්ලන්තයේ ජනයාගෙන් 62% ක් වෙන්වීමට එරෙහිව ඡන්දය පාවිච්චි කර ඇත. උතුරු අයර්ලන්තයේ ජනයාගෙන් 55% වෙන්වීමට විරුද්ධව ඡන්දය දුන්හ. ලන්ඩන්වලද වෙන්වීමට එරෙහිව දුන් ඡන්ද ප්‍රමාණය 59%කි. නමුත් වෙන්වීම සඳහා ඡන්ද 52% ක් වේල්සයේත් 53% ක් එංගලන්තයේත් දෙනු ලැබීය. ස්කොට්ලන්තයේ 62% ක් වෙන්වීමට එරෙහිවීම හේතු කර ගනිමින් ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යන් වෙන්වී යුරෝපය සමග එක්වීම සාධාරණිකරණය කිරීමේ සාකච්ඡාවන් අරඹා හමාරය.

යුරෝපා හවුල සහ මහා බ්‍රිතාන්‍යයෙහි ක්‍රියාකාරිත්වය

යුරෝපා සංගමය ආරම්භ කරනුයේ ලෝක යුද්ධ දෙකකකින් මහා විනාශයන්ට මුහුණ දී එම යුද්ධ තුලින් හෙම්බත් වී සිටි යුරෝපීය රටවල් අතර තම බලඅරගලය යුධමය විනාශයන් කරා යොමුවීම වලකා ගැනීමේ උපායක් වශයෙනි. එක්සත් යුරෝපයක් ගැන මුලින්ම අදහස ඉදිරිපත් කරන්නේ එංගලන්ත අග්‍රාමාත්‍ය වින්සන්ට් චර්චිල් විසින් 1946 දී ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරයේදී ඔහු කළ ප්‍රසිද්ධ කතාවෙනි. ‘අපි එක්සත් රාජ්‍යන්ගේ යුරෝපයක් බිහි කළ යුතුය’ යනුවෙන් ඔහු පැවසීය.

ලෝක යුද්ධ දෙකක ආදීනවලින් බැට කා සිටි යුරෝපය දීර්ඝ කාලීන සාකච්ඡා සහ සිතා බැලීම් තුලින් 1957 මාර්තු 27 වෙනි දින ‘යුරෝපීය ආර්ථික හවුල’ ගිවිසුම රෝමයේදී අත්සන් තැබීමෙන් යුරෝපා සංගමය ආරම්භක අඩිතාලම දමනු ලැබීය. මෙයට මුලින්ම අත්සන් තබන්නේ ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ බෙනෙලුක්ස් යන රටවල්ය. මහා බ්‍රිතාන්‍ය 1960 දී යුරෝපා හවුලට එරෙහිව යුරෝපා නිදහස් වෙළඳ හවුල ගොඩ නැගීය. නමුත් 1961 දී බ්‍රිතාන්‍ය අගමැති මැක් මිලන් යුරෝපා හවුලට එක්වීම සඳහා අයදුම් පත් ඉදිරිපත් කරනු ලබයි. එවකට ප්‍රංශයේ ජනාධිපතිව සිටි ඩි ගෝල් බ්‍රිතාන්‍ය යුරෝපා හවුලට එක්වීමට එරෙහි විය. 1963 දී 1967 දීත් ප්‍රංශ ජනාධිපති ඩිගෝල් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට එක්කර ගැනීමට එරෙහිව තම නිෂේද බලය පාවිච්චි කරනු ලැබීය. නමුත් 1969 වන විට ප්‍රංශ ජනාධිපති ඩි ගෝල් ඉල්ලා අස්වන අතර මේ වන විට ජර්මනියේ චාන්සල්වරයා ලෙස පත්ව සිටි බුද්ධිමත් නායකයෙකු වූ විලී බ්‍රාන්ඩ්ට් එංගලන්තය යුරෝපා සංගමයට එක්කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් එංගලන්තයට නැවත සාමාජිකත්වය ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට දිරි ගන්වනු ලැබීය. 1971 දී එවකට ප්‍රංශ ජනාධිපති පොම්පිඩූ සහ එංගලන්ත අගමැති එඩ්වඩ් හීත් අතර ඇතිවන හමුවීමකින් පසු බ්‍රිතාන්‍ය යුරෝපා හවුලට එක්කර ගැනීමේ සාකච්ඡා ඇරඹේ. දිගු කාලීන හැල හැප්පීම් සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 1973 ජනවාරි 01 වෙනි දින මහා බ්‍රිතාන්‍ය යුරෝපා හවුලට එක්කර ගනු ලැබීය. නමුත් එදාද එංගලන්ත පාර්ලිමේන්තුවේ ඡන්ද විවසීමේදී යුරෝපා හවුලට එංගලන්තය එක්වීමට පක්ෂව ලැබුනේ වැඩි ඡන්ද 16 ක් පමනි.

1974 නොවැම්බර් 30 වැනි දින නැවත එංගලන්තය පිටවීමට ජනමත විචාරණයකට යාම ගැන සාකච්ඡා ඇරඹෙන අතර එවකට ජර්මන් චාන්සලර් හෙල්මුට් ස්මිත් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ඉදිරියේ කළ කතාවකින් පසු ඔවුන් යුරෝපා හවුලට පක්ෂ කර ගනී.එහි ප්‍රතිඵලය ලෙස 1975 දී බ්‍රිතාන්‍යයන්ගේ 2/3 ක ඡන්දය යුරෝපා හවුලට පක්ෂව ලැබේ. එමෙන්ම 1975 වන විට යුරෝපා හවුල සමග එක්වීම වෙනුවෙන් පෙනී සිටි මාගරට් තැචර් 1979 මැයි 04 වෙනි දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්විය. නමුත් අග්‍රාමාත්‍යවරිය වීමත් සමග ඇයත් යුරෝපා හවුල නිර්ධය ලෙස විවේචනය කිරීම අරඹයි. නව ලිබරල් වාදය වෙනුවෙන් පෙනී සිටි මාග්‍රට් තැචර් එවකට ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන් සමග නව ලිබරල් ලෝක දේශපාලනයක් සඳහා ප්‍රචාරකයින් බවට පත්වේ. නමුත් මේ වන විට යුරෝපා සංගමයේ රටවල පැවතියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහනධායි දේශපාලන වැඩපිලිවෙලයන්ය. නමුත් මාග්‍රට් තැචර් එම දේශපාලනය ප්‍රධාන විරුද්ධ කරුවෙකු විය. මාග්‍රට් තැචර් යුරෝපා සංගමය තුල සිටිමින්ම බ්‍රිතාන්‍යට විශේෂ සැලකිලි ඉල්ලමින් ආරවුල් කරනු ලැබීය. තම රටට ආර්ථික වාසි පමණක් ඉල්ලූ තැචර් ශක්තිමත් දේශපාලන යුරෝපා හවුලක් බිහිවීමට එරෙහි විය. දේශපාලන ලෝකයේ ඇමරිකාව සමග හවුල දේශපාලනයක් අනුගමනය කරමින් බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය ක්‍රමක්‍රමයෙන් යුරෝපා හවුලට සතුරු දේශපාලනයක් වෙතට ඇය විසින් නැඹුරු කරනු ලැබීය. 2004 දී ටෝනි බ්ලෙයාර් යුරෝපා ව්‍යවස්ථාවක් ගැන ජනමත විචාරණයක් ගැන කතා කරමින්  2006 වන විට පවත්වන බව පැවසීය. නමුත් එය කිසිදිනෙක සිදු නොවීය.  2011 දී කැමරන් විසින් යුරෝපයේ ආර්ථික අර්බුදයට එරෙහිව යුරෝපා හවුල විසින් යෝජනා කළ වැඩපිලිවෙල කඩා කප්පල් කරනු ලැබීය. 2013 දී කැමරන් විසින් ජනමත විචාරණයකට යන බව පවසමින් දිගින් දිගටම යුරෝපා හවුලේ ප්‍රතිපත්තිවලට එරෙහි විය. එහි අවසාන දිගුව ලෙස 2016 ජුනි 23 වැනි දින ජනමත විචාරණය පැවැත්වූ අතර එයින් මහා බ්‍රිතාන්‍ය වෙන්ව යාමට තීරණය කර ඇත.

යුරෝපා ආර්ථික හවුල ලෙස 1957 ආරම්භ කළ දිනයේ සිට එය දිගින් දිගටම වර්ධනය වූ අතර එය ආරම්භයේ සිට විශාල ප්‍රගතියක්ද ලබා තිබේ. ආර්ථික ඒකකයක් ලෙස ලෝකයේ බලවත්ම ආර්ථික ඒකකයක් බවට පත්විය.

අනෙක් අතින් වසර 250 ක පමණ ජාතික රාජ්‍යන්හි ඉතිහාසයේ ජාතික රාජ්‍ය ඒකක නැතිනම් රට රට ලෙස පැවති දේශසීමා ඉක්මවමින් රටවල් අතර සබඳතාවයක් ගොඩ නගනු ලැබුවේ දේශසීමා ඉක්මවා මනුෂ්‍යාගේ උවමනාවන් සඳහා කලාපයක් ලෙස ලොවටම උදාහරණයක් සපයමින්ය. මනුෂ්‍ය සංහතියේ දේශපාලන ඉතිහාසයේ විශාල ඉදිරි පිම්මක් ලෙස එම රටවල් දේශසීමා ඉවත්කර මිනිසාට තමන් කැමති අයුරකින් ගමන් කිරීමට නිදහස සහතික වීම හැදින්විය හැකිය. මිනිසුන්ගේ ඔලු තුල ජාති, ජනවර්ග සහ ආගම් ආදී මෙකී නොකී බැමි පුපුරවා හැර මෙම ගොඩ නැගීම මිනිස් ඉතිහාසයේ ඉදිරිගාමීම පියවරක් ලෙස සැලකිය හැකිය. නමුත් මිනිසා මිනිසාට හුරු ආකාරයටම ගතානුගතිකත්වය, අලුත්දේට ඇති බිය, ආගන්තුකයන් ප්‍රතික්ෂේප කිරීම වැනි ගති ලක්ෂණ පෙරටු කරගෙන මවා ගන්නා බියක් තුල මෙවැනි පෙරටුගාමී වැඩපිලිවෙලවල් දෙස සැකයෙන් බැලීමේ නැඹුරුවක් පවතී.

පසුගිය වකවානුවේ යුරෝපයේ අලුතින් හමාගිය සුළඟක් ලෙසින්ද තවත් වරෙක යුරෝපය පුරා සැරි සරණ අවතාරයක් ලෙසින්ද ජාතිවාදය හිස ඔසවනු පෙනෙන්නට තිබේ. මින් වසර 30 ට ඉහත යුරෝපයේ කතා කිරීමට මුව විවර නොකළ පසුගාමී පටු වාග් මාලාව පසුගිය වකවානුවේදී දේශපාලන කරලියේ ප්‍රසිද්ධ වාග්මාලා  බවට පත්විය. තම ජනවර්ගය දියව යාම, අපේ සමාජ ආගන්තුක කිරීම, මුස්ලිම් ආගමනය, සුදු ජනවර්ග වඳවී යාම, සංස්කෘතික ආක්‍රමණය වැනි වාග් මාලා මෙසේ කරලියට පැමිණ ඇති වචනයි. මෙසේ කතා කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් විදේශිකයන් තම රටට  තර්ජනයක් ය යන වචනය එදි නෙදා භාවිතාවට ගෙන එනු ලැබීය. මේ සඳහා තුට්ටු දෙකේ මාධ්‍ය ද ඔවුන්ට උපාකාරී වූ මෙවලමක් විය. මේ සෑම ජාතික හෝ වාර්ගික ප්‍රචාරකයන්ගේ ප්‍රධාන කියමන වූයේ අතීතයේ ජාතික රාජ්‍ය තුල තමන් ලබා තිබු සෞභාග්‍ය වර්ණනා කිරීමයි. අලුතින් ආරම්භ කරන මෙම ජාතිකවාදය එදා ජාතික රාජ්‍යයේ සීමා තුල පැවති සමෘද්ධිය සහ දිදුළන අතීතය ගැන වර්ණා කර නැවත එතැනට යාම තුලින් තම අනාගතය සුරක්ෂිත වන බව පුන පුනා පවසයි. එමෙන්ම එක ජනවර්ගයක් සහ ජාතික දේශපාලනයක් යන්න අගනා දෙයක් බව වර්ණා කිරීම අරඹයි. විවිධත්වය සහ බහුවාර්ගික බව නිසා තමන්ගේ සංස්කෘතිය එතුල ගිලී යනු ඇතැයි බියක් සමාජය මත පටවයි. ආගන්තුක බලයක් (යුරෝපා සංගමය සහ බ්‍රසල්ස්) තම ජීවිත තීරණය කරනු ලබන බවට චෝදනා කරයි. ගෝලීයකරණය වීම තුල තමනට අඩු වටිනාකමකට ඇද දමා ඇත යන චෝදනාව ද මේ අතර ඇති තවත් එකකි. මෙම ජාතිවාදී ප්‍රවාහය දිගින් දිගටම එක ජනවර්ගයක් එක දේශපාලන ඒකකයක් යන පැරණි ජාතික රාජ්‍ය වර්ණනා කිරීමෙන් තමන් එයට ආපසු යා යුතු බව ප්‍රචාරය කරති. නමුත් හැබෑව නම් යුරෝපයේ ජීවත් වන මිනිසුන්ගෙන් වැඩි දෙනා මෙම යුරෝපීය සහනදායී රාජ්‍යන් තුල ඉතා සුවදායක ජීවිත ගත කිරීමයි. නමුත් එම පහසුකම් භුක්ති විදිමින් එම පහසුකම්වලට මග පාදා ඇති යුරෝපා හවුලේ පොදු බව හෙලා දකී. ඇත්තවශයෙන් සිදු වන්නේ කුමක්ද? යුරෝපා හවුල මිනිස් වර්ගයාගේ ඉදිරි ගමනට හිතකර වැඩ පිලිවෙලකි.

  • මෙතුලින් ජාතික රාජ්‍යන් අතර ඇති තරඟය නිසා ඇතිවන යුද්ධ වලකා ගනු ලබයි.
  • දේශ සීමා ඉවත්වීම තුලින් මිනිසුනට බාධා රහිතව ගමන් කිරීමට ඇති පහසුව සහ එනිසාම විවිධ සංස්කෘතීන් සහ භාෂාවන් එකිනෙකා හඳුනාගැනීම. එතුලින් තමන් අනිකාට වඩා උසස්ය තම සංස්කෘතිය උසස්ම සංස්කෘතිය ආදී ලෙස මිනිසා තුල ඇති පටු මෝඩ සංකල්පයක් දුරස් වීමට මග පාදයි.
  • මේ රටවල දේශසීමා සහ සමාජ සීමා ඉවත්ව යාම තුල නව පරපුර පටු ජාතික මානසිකත්වයෙන් මිදී විවෘත මිනිසෙකු ලෙස වැඩේ.
  • ආර්ථික වශයෙන් මේ රටවල් අතර සිදුවන ගනුදෙනුවලදී බාධා විරහිතව භාණ්ඩ සහ ශ්‍රම සංසරණයට ඉඩ පාදයි. මෙතුල මිනිසාට වඩාත් නිදහස් ආර්ථික අවස්ථා උදා කරනු ලබයි

 

මේ මා කැටි කලේ යුරෝපා හවුල තුල නැතිනම් මෙවැනි කලාපීය හවුල් තුල ඇති වැදගත් කම් කීපයකි. මෙයින් රටවල් අතර යුද්ධ නතර කර ගැනීම පමණක් ගත්තා වුවත් එය මිනිස් සංහතිය ලබන විශාල ජයග්‍රහණයකි. 20 වන සියවස ආරම්භයේ ජාතික රාජ්‍යන්ගේ උන්නතිකාමය නිසාවෙන් ඇති කළ මහා ව්‍යසනයන් වන ලෝක යුද්ධ දෙකක පල විපාක සලකා බැලීම තුල එවන්නක නැවත් ඇති වීම වලක්වා ගැනීම මුල් කර ගනිමින් යුරෝපා සංගමය ඇති කර ගනු ලැබීය. නමුත් අද මේ සියල්ල අමතක කරමින් නැවත ජාතික රාජ්‍ය යෙහි සෞභාග්‍යමත් දිදුළන බවත් වර්ණනා කිරීම අරඹා ඇත. යුරෝපීය එකතුවේ ප්‍රධාන කොටස් කරුවෙකු වූ ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා මිතරාන්ඩ් යුරෝපා පාර්ලිමේන්තුවේ ඔහු අවසානයට කළ කතාවේදී ජාතිකවාදය යනු යුද්ධය යැයි පැවසූ බව අප මතක තබා ගත යුතුය.

 

කෙසේ වුවත් යුරෝපීය එකතුව තුල සිදුවන සියල්ල නිවැරදි නොවේ. එහි බොහෝ අඩුපාඩුකම් ඇත. එමෙන්ම එයට ඇති දේශපාලන බලයද සීමිතය. ජාතික රාජ්‍යන් තම බලය තම අතින් මුදා නොහැර දිගටම පවත්වාගැනීම තුල යුරෝපීය එකතුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙලකට ගමන් කිරීමට ඇති මග අහුරා ඇත. ජාතික රාජ්‍යන් තුල ඔවුන්ගේ ජාතික දේශපාලන ප්‍රතිපත්ති නිසා සිදුවන වැරදි දේශපාලනය වසා ගැනීමට ඔවුන් බොහෝ විට වැරැද්ද යුරෝපීය එකතුව දෙසට පැටවීමට පුරුදුව ඇත. නමුත් හැබෑව වන්නේ යුරෝපා එකතුව විවිධ පැතිවලින් ගුණාත්මක දේ ඇති කර ඇති නමුත් ඔවුන් සතු දේශපාලන බලය සීමා සහිත වීමයි. සියළුම තීරණාත්මක දේශපාලන බලය හිමි ජාතික පාර්ලිමේන්තුවටයි. රට රටවල් වශවෙන් තනි තනිව ගන්න වැරදි දේශපාලන ක්‍රියාදාමයන් තුල ඒ ඒ රටවල ජනතාවගේ ප්‍රශ්න උග්‍ර වී තිබේ. එම අර්බුදය තමන්ගේ වගකීමෙන් මග හැරීමට බොහෝ දේශපාලන පක්ෂ සහ ආණ්ඩු තම නොහැකියාව සහ තම වරද සගවා ගැනීමද යුරෝපා හවුල නිසා තම රටේ ප්‍රශ්න විසදා ගැනීමට ඉඩ නැති බව ඔවුන්ගේ ජනතාවට පැවසීමට පුරුදු වී සිටී. ගෝලීකරණය නිසා ඇති වී ඇති අපහසුතා, පිටරැටියන් සංක්‍රමණිකයින්ගේ පැමිණීම, සමාජ සහන කප්පාදුව, තරුණයින්ගේ විරැකියාව, ප්‍රජාාන්ත්‍රවාදී අයිතීන් කප්පාදුව වැනි බොහෝ කාරණාවන්හිදී වැරදි කරු ජාතික රාජ්‍යයි. එමෙන්ම මෙම ප්‍රශ්නවලට සාදනීය විසඳීමක් සෙවීම සඳහා යුරෝපා හවුල මැදිහත්වීමට සූදානම් වූ සෑමවිටකදීම එයට ඉඩ නොදී සිටීමද ජාතික රාජ්‍යන් විසින් සිදු කරනු ලබයි. එසේ කරන ජාතික රාජ්‍ය තම දේශපාලන වැරදිවලට යුරෝපා හවුල දෙසට ඇගිල්ල දිගු කිරීම පුරුද්දක් කර ගෙන තිබේ.

 

අලුතින් මතුව ඇති ජාතික සහ වාර්ගික අතීතකාමය මෙන්ම  පටු ජාතික රාජ්‍ය දෙසට ඇතිව ඇති මේ අලුත් නැඹුරුව තිබෙන ප්‍රශ්න තවත් උග්‍ර කරන අතර අර්බුදයට විසදුම් කිසියම් ආකාරයකින් ලබාදෙනු නොලැබේ.  මෙම බ්‍රිතාන්‍ය වෙන්වී යාම ඇති වන අර්බුදය විසින් ජීවමාන පාඩමක් යුරෝපීයනට නුදුර දිනයේම ලබා දෙනු නොඅනු මානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *