ගලේ පැහැරීමක්ව ඇති Brexit – රංජිත් හේනායකආරච්චි

download (4)බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සාමාජිකත්වය ගත් දා සිටම ඔවුන් එතුල ක්‍රියාත්මක වූයේ දිව දෙකේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. අපි කවුරුත් දන්නා පරිදි ‘මහා බ්‍රිතාන්‍ය ‘ බ්‍රිතාන්‍ය දූපතට පමණක් සීමාවීම ඇරඹෙන්නේ 2 වන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුවයි. හිරු නොබසින අධිරාජ්‍යකට හිමිකම් කියූ මේ දූපත් වැසියන් ඔවුන් ලබා තිබූ අධිරාජ්‍ය වාදී බලය නිසා ඔවුන් තුල ගොඩ නැගී තිබූ වගාඩම්බරය පිළිබඳ අධිමානයෙන් පෙලීම තමන්ගේ අධිරාජ්‍ය වැටීමෙන් පසුවද අත් නොහැර පවත්වාගනු ලැබ ඇත. ඒ මදිවාට දූපත් මානසික මට්ටමද ඔවුන්ගේ මේ පිලිවෙතට තදින්ම බලපානු ලැබීය. එනිසාම යුරෝපයේ බිහිකළ ඉතා වැදගත් මෙන්ම මසුෂ්‍ය සංහතියටම වැදගත් ඉදිරි දැක්මක් සඳහා අඩිතාලම දැමූ යුරෝපා හවුලට(රටවල් අතර දේශසීමා ඉවත් කර, මිනිසුනට පටු ජාතික සහ ජාතිවාදී බැමි වලින් මිදී බහුවාර්ගික, බහු සංස්කෘතික, ගුණාත්මක හරය අත්විදීමට ඉඩ සලසන ) සම්බන්ධ වීමට බ්‍රිතාන්‍යට ඉඩ ලැබුනා වුවත් ඔවුන් කිසි දිනෙක මෙහි දේශපාලන විවෘතභාවය ගැන එකග නොවී අර්ධ හදවතින් ක්‍රියාත්මක වෙනු ලැබීය. ඔවුන් සෑම විටම උත්සාහ කරනු ලැබුවේ යුරෝපා හවුල තුල තමන්ට විශේෂ වරප්‍රසාද, විශේෂ වාසි අත්කර ගැනීමටයි. ඔවුන්ගේ ක්‍රියාදාමය සමාන කළ හැකි වන්නේ එකම පවුලක දරුවන් අතරින් එකකුට පමණක් වැඩි වරප්‍රසාද වැඩි වාසි සැලසෙන ප්‍රතිපත්තියක් එම පවුල තුලට බලහත්කාරයෙන් ඇතුළු කිරීමට තැනීම වැනි දෙයකි. මෙම අන්ත ආත්මාර්ථකාමී පිලිවෙත දිගින් දිගටම යුරෝපා හවුල තුල අර්බුද මතුකළා පමණක් නොව යුරෝපා හවුල දේශපාලන වශයෙන් ගනු ලබන බොහෝ ඉදිරිගාමී පියවරයන් අවහිර කිරීමකටද හේතු වනු ලැබීය. ඔවුන් දිගින් දිගටම කරනු ලැබුවේ ‘අපට මේ හෝ අර විශේෂ වරප්‍රසාදය හිමි නොවන්නේ නම් අපි සංගමයෙන් ඉවත් වන්නෙමු’ යන තර්ජනාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුරෝපා හවුල තමනට අවශ්‍ය විදියට නැටවීමට උත්සාහ කිරීමය. ඇත්තෙන්ම එය හරියට පවුලක අඹුසැමියන් අතර එක හා සමාන අයිතීන් පැවතීමට එරෙහිව එකකු විසින් අනෙකාට ‘එහෙම බෑ මට වැඩි බලය නැත්නම් මං දික්කසාද වෙනවා’ යනුවෙන් තර්ජනය තුලින් යටපත් කිරීම වැනිය. කෙසේ වුවද අවසානයේ ඔවුන්ගේ කාල ගෝට්ටිය අවසානය වෙත ලඟා වී ඇත. දශක ගණනාවක් තිස්සේ තම දේශපාලන නොහැකියාව ඉදිරියේ ජනතාවගේ උවමානවන් ඉටු කිරීමට නොහැකි වූ දේශපාලඥයන් තමන්ගේ ජනතාව රැවටීම සඳහා වැරැද්ද අනෙකෙකු මත පැටවීම ( ලාංකිකයන් වන අපටද මෙය හොඳට හුරුය. ලංකාවේ සියළුම ප්‍රශ්නවලට වැරදි කරු බලය හොබවන දේශපාලඥයන් නොවන බවත් එක්කෝ බටහිර අධිරාජ්‍යවාදය නැතිනම් ඉන්දියාවේ ආධිපත්‍ය එසේත් නැතිනම් කොටින් හෝ වෙනත් අයෙකු යැයි ඔවුන් හදුන්වති. කෙසේ හෝ වැරදිකරු අප නොව අනෙකාය) හේතු කරගෙන බ්‍රිතාන්‍ය ජනයා සිතන්නේ තමන්ගේ ප්‍රශ්නවලට හේතුව යුරෝපා හවුල බවයි. ඒ අනුව ජනතාව වෙන්වීමේ උවමානව සහතික කර ඇත. දැන් දේශපාලන නායකයන්ට තම නොහැකියාව යන වරද යුරෝපා හවුල වෙත පැටවිය නොහැක. දැන් එංගලන්තයේ දේශපාලඥයන් තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳා පෙන්විය යුතුය. ඒ සඳහා ඔවුනට ජනවරම ලැබී තිබේ.

 

බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණයෙන් පසු වහාම ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ජනමත විචාරණයට අනුව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීම වෙනත් නායකයෙකු යටතේ කළ යුතු බවත් පැවසීය. ඒ අනුව ඔවුන්ට අලුත් අග්‍රාමාත්‍යවරයෙකු අවශ්‍යව ඇත. වෙන්වීම සඳහා ප්‍රධාන කසකරුවන් වූ බෝරිස් ජොන්සන් සහ මයිකල් ගෝවේ දෙදෙනාම තමන් අගමැතිවීමට කැමති නැති බව මේ වන විට පවසා හමාරය. එමෙන්ම මෙහි ප්‍රධාන නළුවා වූ බෝරිස් ජොන්සන් ජනමත විචාරණය දිනුවායින් පසු යුරෝපයෙන් වෙන්වීම ගැන ඔහුගේ වචන මාලාවේ සැර බාල කර ඇත.

නමුත් දැන් තත්වය කුමක්ද? යුරෝපා හවුලේ සිටින විට යුරෝපය තුල වෙළඳපොළට ඇතුළු වීමේදී සෑම රටකටම එක සමාන අයිතියක් සහ නිදහසක් ඇත. ඒවාගේම එසේ වෙළඳපොළ වාසි ලබන සෑම රටකටම ඉටු කිරීමට යුතුකම්ද තිබේ. ඉන් එකක් යුරෝපීය රටවල වැසියනට තමන් කැමති ඕනෑම රටක නිදහසේ හැසිරීමට, ජීවත්වීමට සහ රැකියා කිරීමට ඇති අයිතියයි. නමුත් බ්‍රිතාන්‍ය සූදානම් වන්නේ වෙළඳපොල නිදහස තමන් වෙත තබාගෙන වැසියාගේ නිදහසේ ගමන් කිරීමේ සහ රැකියා කිරීමේ නිදහස නැති කිරීමටයි. මෙය ඇත්ත වශයෙන්ම නව ලිබරල් ගෝලී කරණයේ නරකම අංගය වන ප්‍රාග්ධනයට දේශසිමා නැති කර මිනිසාට දේශසීමා දැමීම යන ප්‍රතිපත්තියයි. නව ලිබරල් ගෝලීකරණය තුල බටහිර ධනවාදී රටවල් විසින් ලෝකයේ අන් රටවලට විශේෂයෙන්ම දුප්පත් සංවර්ධනය වෙමින් තිබෙන රටවල් මත මේ ප්‍රතිපත්තිය ඔවුන් ක්‍රියාත්මක කරයි. යුරෝපා හවුල තුලදී මහා බ්‍රිතාන්‍ය උත්සාහ කරන්නේ තමන්ට පමණක් ලාභ ලබන මේ නව ලිබරල් මොඩලය ඒ මත පැටවීමටයි.

ඒත් දැන් සිද්ධීන් සිදුවන්නේ ඔවුන්ගේ ඒ කැමැත්ත අනුවද? නැත. කිසිසේත්ම එසේ නොවනු ඇත. මේ වන විටත් යුරෝපා හවුලේ ආරම්භක රටවල් වන ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය සහ බෙනෙලුක්ස් රටවල නායකයින් ‘බැක් ටු ද රූට්ස්’ යන තේමාව යටතේ වෙනම මුණ ගැසුණි. ඇන්ගලා  මෙර්කල් ජර්මන් පාර්ලිමේන්තුවේදී කළ කතාවේ ‘ආහාර වට්ටෝරුවක තමන් කැමති කෑම තෝරනවා සේ වෙන්වීමේ කොන්දේසි තේරීමට ඔවුනට අයිතියක් නැත’ යනුවෙන් පැවසී‍ය.  ‘කේක් එක් මුද්දරප් පලම් පමණක් තෝරාගෙන කෑමට ඔවුනට ඉඩ නැත’ යයිද ඇය විසින් පැවසීය.

යුරෝපා සංගමයේ සභාපති ජෝන් ක්ලෝඩ් ජුන්කර් මෙන්ම ප්‍රංශ ජනාධිපති හොලන්ඩර් සහ ඉතාලි අගමැති රෙන්සි මේර්කල් සමග එක්වෙමින් පැවසුවේ ‘වෙන්වීමේ කොන්දේසි තෝරනු ලබන්නේ අප විසිනි’ යනුවෙනි. මේ අයුරින්  දැනටමත් පෙන්නුම් කරනු ලබන්නේ තත්වයන් බ්‍රිතාන්‍යට ඉතා අවාසිදායක අයුරින් සිදුවන බවකි.

බ්‍රිතාන්‍යට ඇති විකල්ප ක්‍රම 2 කි

එකක් නෝවේ රාජ්‍ය සහ යුරෝපා හවුල අතර ඇති ගිවිසුමේ මොඩලයයි.

අනෙක ස්විස්ටර්ලන්තය සහ යුරෝපා හවුල අතර ඇති ගිවිසුමේ මොඩලයයි. මෙම මොඩල් දෙකම යුරෝපා සංගමය තුල නිදහස් ආර්ථික ක්‍රියාදාමයකට එකග වී ඇත. ඒ අනුව එයට අයත්වන ප්‍රධාන කාරණා 4 වන්නේ භාණ්ඩ, සේවා, ප්‍රාග්ධන සහ ශ්‍රමයට නිදහසේ මේ රටවල් තුල හැසිරීමට ඇති අයිතියයි. ඒ වාගේම මෙම රටවල් දෙකම තම අයිතීන් ලබා ගැනීමට මෙන්ම තම යුතුකම් ඉටුකිරීමටද බැඳී ඇත. නමුත් ඔවුන් යුරෝපා හවුලේ සාමාජිකයන් නොවන බැවින් යුරෝපා සංගමය ගන්නා තීරණවලට ඡන්දය දීමේ අයිතිය ඔවුනට හිමි නැත. එමෙන්ම යුරෝපා සංගමය ගත් ඕනෑම තීරණයක් ක්‍රියාවට නැගීමට ඔවුන් බැඳී ඇත. ඒවාගේම ඔවුන් වාර්ෂිකව සංගමයේ සාමාජික මුදල් ගෙවිය යුතුය. උදාහරණයකට නෝර්වේ රාජ්‍ය 2014 සිට 2021 කාලය දක්වා යුරො බිලියන 2.7 ක් ගෙවනු ලබයි. මේ අනුව මෙම මොඩලය බ්‍රිතාන්‍ය විසින් අනුගමනය කලොත් ඔවුන් දැනට ගෙවන සාමාජික මුදල වෙනුවට එම මුදලෙන් 83% ක් වන යුරෝ බිලියන 4 ක් පමණ ගෙවීමට සිදුවේ. ඇත්තෙන්ම Brexit සඳහා ඡන්දය දුන් ජනයා එම ප්‍රමාණය ගෙවීමට එකග වේද?

මේ සියල්ලටම ප්‍රථම බ්‍රිතාන්‍ය කළ යුතුව ඇත්තේ යුරෝපා හවුලේ ව්‍යවස්ථාවේ 50 වෙනි වගන්තියට අනුව තමන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අයදුම්පතක් ඉදිරිපත් කිරීමයි. එයින් පසුව යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය අතර නව ගිවිසුමකට සාකච්ඡා ඇරඹිය හැක. එතෙක් කිසිම සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් නොපවත්වන ලෙස යුරෝපී හවුලේ සියළුම ආයතන සහ නිලධාරීන්ට යුරෝපා සංගමය විසින් මේ වන විට දැනුම් දී තිබේ. දැන් සියල්ල සිදුවෙමින් පවතින්නේ වෙන්වීම වෙනුවෙන් කස කැරකවූ අයගේ උර මත බර පැටවෙන අයුරිනි. බෝරිස් ජොන්සන් දැනටමත් එම බරින් කර ඇර ලෙස්සා යාමට උත්සාහ කරයි.

මෙතෙක් මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස පැවති ලන්ඩන් නගරය තුල තම මූල්‍ය ආයතන පවත්වා ගැනීම එම ආයතනයට නිදහසේ යුරෝපය තුල හැසිරීමට ඇති බාධක දැක දැනටමත් බැංකු සහ මූල්‍ය ආයතන තම මූලස්ථාන වෙනත් යුරෝපීය නගරවලට ගෙන යාම අරඹා ඇත. මුලින්ම අයර්ලන්තයේ ඩබ්ලින් නගරයටත් ජර්මනියේ ප්‍රැන්ෆර්ට් නගරයටත් තම අවධානය යොමු කළ බැංකු සහ මූල්‍ය ආයතන මේ වන විට මියුනික් නගරය මෙන්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය වෙතටද තම අවධානය යොමු කරමින් පවතී. එමෙන්ම මේ වන විටත් විශාල සමාගම් සහ විදේශ බැංකු ගණනාවක්ම බර්ලින් නගරයට පැමිණීමට ඉඩ කඩ සලසා ගනිමින් පවතී. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල පර්යේෂණ අංශවල වැඩකරන විද්‍යාඥයින් මේ වන විට බර්ලින් නගරය තුල තම ආයතන ස්ථාපිත කිරීමට අවසර ඉල්ලා ඇත. ආර්ථික සහ කාර්මික වශයෙන් මහා බ්‍රිතාන්‍ය හැර යන ප්‍රමාණය තාම ආරම්භක අවධියේ පැවතුනා වුවත් ඉදිරියේදී මෙය ඉතා විශාල ප්‍රමාණයකින් සිදුවීමට බොහෝවිට ඉඩ තිබේ. එසේ සිදුවීම බ්‍රිතාන්‍ය ආර්ථිකය විශාල වැටීමකට මග පාදනු නොඅනුමානය. ඒ කෙසේ වෙතත් මෙම ආර්ථික කඩා වැටීම වෙනමම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. ගලේ පැහැරූ විට එය වසා ගත නොහැක. දැනටමත් දුඟද දසත හමති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *