නව ලිබරල් අර්බුදය සහ කොරෝනා වශංගතයෙන් පසු

ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි. ඒත් අද වන විට අපි සියළු දෙනාම පාහේ අකර්මණ්‍ය වී, අපට හුරු ලෝකය අපට හුරු ආකාරයෙන් නොමැතිවීම නිසා, සම්පූර්ණ ක්‍රියාවිරහිත භාවයකට පත්ව ඒ දෙස බලා සිටින්නෙමු.

කොරෝනා වෛරසය අද වන විට අපට අදහා ගැනීමට බැරි තරම් විශාල ආකාරයකින් මතුව ඇත්තේ එය ලෝකය පුරාම පැතිරී ඇති හෙයින් පමණක් නොව, අප කිසිදිනක නොසිතූ වේගයකින් එය පැතිරෙන නිසා ද නොවේ, ඒ අප මෙතෙක් දැනගෙන සිටි ලෝකයේ විශාල ශක්තිමත් රාජ්‍යයන් අද වන විට මෙම වෛරසය විසින් දණ ගස්වා ඇති හෙයිනි. ඉලෙක්ට්‍රොනික්, ලේසර් කිරණ සහ විවිධ දියුණු තාක්ෂණයන් ගෙන් සැදුණු ලෝකය මොහොතකට වෛරසයක් විසින් අභියෝගයට ලක් කර ඇත. යුද අවධියක වුවද මිනිසුන් සාද පැවැත්වූ අතර සිනමා ශාලාවල සහ ආපනශාලා වල ගැවසුණි. නමුත් අද අපිට දකින්නට ඇත්තේ මේ සියල්ලෙන් මිදුන ලෝකයකි. නගරවැසියන් දකින්නට නැති පාළු වී ගිය නගරය. ක්‍රීඩාපිටි හිස්ය. ගුවන්තොටුපල පාළුවට ගොස් මිනිසුන් නිදහසේ හැසිරීම සම්පූර්ණයෙන් නතර වී ඇත. විනෝද වීම හෝ වෙනත් සමාජමය ක්‍රියාදාමයන් සම්පූර්ණයෙන් ඇණහිටින තත්වයක් ඇතිවී ඇත්තේ කොහේ හෝ සිටින කෲර පාලකයෙකුගේ ආධිපත්‍යයට යටවී නොව මුළු ලොව පුරාම පැතිරීගිය බියක් හේතුකොට ගෙනයි.

මේ හේතුවෙන්ම මේ වන විට ලෝක වැසියාගෙන් වැඩිදෙනෙකු එක්කෝ මුව ආවරණයක් පළඳින අතර විවිධ රෝග නිවාරණ බෙහෙත් පිළිබඳව සාකච්ඡා කරන ඒ වාගේ ම එකිනෙකාගෙන් ඈත් වී සිටීමට උත්සාහ කරන සමාජයක් බවට පත්වී හමාරය. විවිධ අත්බේත් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වල අපූරු ප්‍රකාශන දකින්නට තිබේ. මේ ලෝක සමාජය බියෙන් ඇළලී ගිය යුගයකි.

ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ මතුවී ඇති අර්බුදය සමාජමය සහ දේශපාලනමය පුරුදු ක්‍රියාමාර්ගයන් අභියෝගයට ලක්කර එය පීලි පැන්නවීමයි. නූතන රාජ්‍යය ක්‍රමයන් තුළ මිනිසා ජීවත් වූයේ, රාජ්‍ය ක්‍රමය විසින් සූදානම් කළ සෞඛ්‍ය සහ වෛද්‍ය පහසුකම් පිලිබඳ විශ්වාසවන්ත බවක් තහවුරු කළ මනසකිනි. නමුත් පසුගිය කාලය වන විට එම විශ්වාසය කෙමෙන් බිඳීගොස් තමා ජීවත්වෙන රටේ රාජ්‍ය තමාගේ ආරක්ෂාව සහතික කරන තත්ත්වයක නොපවතින බව බොහෝ දෙනෙකුට වැටහී ගොස් තිබුනි. එය බියට හේතුවකි.

මේ තත්ත්වය ඇතිවීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණු දෙකකි. පළවෙනි කාරණය වන්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුල රාජ්‍ය විසින් මිනිසුන්ගේ උවමනාවන් ඉටුකිරීම සඳහා කළ යුතු වැඩ කොටස් එනම්, සෞඛ්‍ය, අධ්‍යාපනය, සහ සමාජ කටයුතු, පැත්තකින් තබා රාජ්‍ය තම කාර්ය්‍ය ලෙස බැංකුවල උවමනාවන්, බහුජාතික සමාගම්වල උවමනාවන්, නිෂ්පාදන වියදම් අඩුකර කොම්පැනිවලට ලාභ ලැබීමට වශ්‍ය පහසුකම් සලසා දීම ආදිය මුල්කරගෙන වැඩ කිරීම නිසාවෙන් මිනිසුන්ගේ විශ්වාසය රාජය්‍ය වෙතින් ඉවත්ව යෑම ය. දෙවන කාරණය වන්නේ මේ පැමිණ ඇති ව්‍යසනයේ බැරෑරුම්කම එහි විශාලත්වය කොපමණද යත් රාජ්‍ය හැරුනුකොට වෙන කිසිම ආයතනයකට මෙවැනි ආපදාවකට විසඳුම් දිය නොහැකි බව තහවුරු වීමයි.

අද ඇතිවී තිබෙන අර්බුදය කාලයක් තිස්සේ දේශපාලන බලධරයන් විසින් ඔවුන්ගේ වගකීම් ඉටු කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොකිරීම හේතුවෙන් මතුව ඇති එකකි. අඩු වැඩියක් නොමැතිව ලෝකය පුරා සමාජයන්, රජයන්, තම අවධානය යොමු කර තිබු‌ණේ වැඩි වැඩියෙන් ලාභ, තව තවත් ලාබ ලබා ගැනීම සඳහා භූමිය, පරිසරය සහ ශ්‍රමය සූරාකෑමට හැකි ආකාරය ගැනයි. ලෝකය පුරා ජීවවිද්‍යා පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට කොරෝනා වැනි වෛරස් ඉදිරි කාලයේ ලෝකය තුල දිගින් දිගට මතුවිය හැක. හේතුව ලෙස ඔවුන් පෙන්වන්නේ සීමාවක් නැති ආකාරයකින් පරිසරය සහ විවිධ වන සතුන් ලාභ උපයන ව්‍යාපාර ලෙස පරිහරණය කිරීම තුළින් සතුන්ගෙන් මිනිසුන්ට මාරුවන වෛරස් හේතුවෙන් රෝග බෝවීම ඇතිවන බවයි. (zoonotic) සමහරවිට මේ ඇතිවී ඇති තත්ත්වය ලෝකය පුරාම සිටින ලාභ ඉපයීම පමනක් තම සිතිවිල්ල කරගත් උන්ගේ ඇස් ඇරවීමට හේතුවීමට ඉඩ ඇත.

විසිවන සියවස අග භාගයේ සමාජ අනාරක්ෂිත බව ගැන කියමින් ක්‍රමයෙන් පැවති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එකිනෙක කප්පාදු කරමින් ලාභය උපරිම කිරීමේ වැඩපිළිවෙළ වෙතට රාජ්‍යයන් යොමුවිය. අප නව ලිබරල්වාදය ලෙස හඳුන්වන්නේ මෙන්න මේ ක්‍රියාදාමය ටයි. නව ලිබරල්වාදයට ලිබරල්වාදය සමග කිසිදු සම්බන්ධයක් නොමැත. නව ලිබරල්වාදය තුලින් මතුකරන “ආර්ථික වාදය” ‍ප්‍රජාතන්ත්‍රවාදය ටිකෙන් ටික කප්පාදු කරනු ලැබීය. කොරෝනා වෛරසය ආරම්භ වෙන අවධියේ දී ඒ පිළිබඳව යුරෝපා රටවල රජයන් ලොකු සැලකිල්ලක් නොදැක්වූයේ ඔවුන්ගේ ආර්ථික ක්‍රියාදාමයට එය බලපානු ඇතැයි ඒ වනවිට ඔවුන් නොසිතූ හෙයිනි.

ජනයාගේ යහපත් සෞඛ්‍යය තත්ත්වය ලෝක ආර්ථික ක්‍රියාදාමය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යම සාධකයයි. නමුත් මූල්‍යලෝකය සහ එහි ක්‍රියාදරයන් ඒ පිළිබඳව සැමදා හැසුරුණේ වගකීම් විරහිත ඒවාගේම උජාරු මහන්තත්වයකිනි. ඇත්ත වශයෙන්ම ලෝකයේ මෙවැනි අර්බුද වලදී පළමුවෙන්ම අර්බුදයට යන්නේ ඔවුන්ය. නූතන රාජ්‍යයන් විසින් සමාජ ස්ථාවරබාවය සඳහා රෝහල් ඉදිකළ අතර වෛද්‍යවරුන් පුහුණු කර බෙහෙත් ද්‍රව්‍ය පහසු මිලට ලබා දුන් අතර සුභසාධන රාජ්‍යයන් ගොඩනගන ලදී. මෙසේ ගොඩනගන ලද සෞඛ්‍යය ක්‍රමයන් සහිත සමාජ පසුබිම අනාගත ආයෝජනයන්ට සහ මූල්‍ය වෙලඳපොල වලට අවශ්‍ය ස්ථාවර පදනම දමනු ලැබීය.

පැහැදිලිව කියන්නේ නම් වෙළඳපොල ආර්ථිකය රඳා පවතින්නේ මහජනයාගේ සෞඛ්‍ය කොතරම් දුරට තහවුරු වී තිබේද යන්න මතයි. නමුත් නවලිබරල් ආර්ථික ක්‍රමය ගෝලීයකරණයේදී ඔවුන් යෝජනා කරන්නේ රාජ්‍යය සහ සුබසාධන කපාහැර සියල්ල වෙළෙඳපොළ යටතට ගතයුතු බවයි. මෙය “ආර්ථික කරනය” යනුවෙන් ද හඳුන්වන ලබයි.

හැට ගණන්වල අගදී ලෝක බැංකු අධිපති රොබට් මැක්නමාරා ගේ මගපෙන්වීම අනුව ඇමරිකාවේ ජනාධිපති රොනල්ඩ් රේගන් සහ එංගලන්තයේ අග්‍රාමාත්‍යවරිය වූ මාග්‍රට් තැචර්ගේ නායකත්වය යටතේ ව්‍යාප්ත කිරීම ආරම්භ කළ නව ලිබරල් ආර්ථික වැඩපිලිවෙල සුභසාධන රාජ්‍යය කප්පාදු කිරීම ඇරඹීය. තව තවත් ආර්ථිකවාදයම ප්‍රචලිත කරනු ලබන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි සමාජ තුළ පදනම් වැටී තිබූ සමාජ ස්ථාවරත්වයට මූලික හේතුව වී තිබුන මේ රටවල් තුළ තිබූ සෞඛ්‍යය සහ සමාජ සුභසාධන පිළිබඳ කිසිම තැකීමක් නොකරමිනි. මෙම සමාජ සුභසාදන ස්ථාවරත්වයම ප්‍රයෝජනයට ගෙන වැඩුණු වෙළෙඳපොළ ආර්ථිකය දේශපාලකයන් සමග එක්ව ක්‍රමවත්ව සමාජීය ස්තීරත්වයට තිබූ හේතු කප්පාදු කිරීම ඇරඹුණි. ඇත්තෙන්ම තමන් සත පහක්වත් නොගෙවා මෙම සමාජ ස්ථාවරයෙන් ලාභ ලබන්නන් වූ මූල්‍ය වෙළෙඳපොළ, බැංකු සහ ස්පෙකුලේෂන් කරුවන් මෙම සමාජ ස්ථාවරභාවයහි ඇති වැදගත්කම සතයකට මායිම් නො කරනු ලැබීය.

නව ලිබරල් වෙළඳපොල ආර්ථික ක්‍රමය සියල්ල ලාභය මත පදනම් කරගැනීම තුළ පසුගිය වසර 30 ක පමණ කාලයෙහි සිදුවූයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ මිනිසුන් සඳහා ගොඩනගා තිබූ හසුකම් ක්‍රමවත්ව කපාහරිමින් සියල්ල ලාභ ලැබීමේ මාර්ගය වෙත ගමන් කරවීමයි. සෞඛ්‍ය කටයුතු, අධ්‍යාපන කටයුතු, සහ ගමනාගමනය වැනි අ්‍යාවශ්‍ය සේවාවන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල බොහෝ විට රජය සතුව පැවතුනු අතර එම සේවා සුභ සාධන තත්ත්වයන් මත පවත්වා ගනු ලැබූවේ ජනතාවට සේවයක් වශයෙන් සහ රාජ්‍යයේ මූලික කාර්යය රටේ ජනතාවගේ සුඛ විහරණය ගැන බලා ගැනීම යන පදනම මුල් කරගෙන. සියල්ල ලාභය මත පදනම් වූ ආර්ථිකයම මුල්කරගත් ක්‍රමයක මේ සියල්ල මුදල මත ලාභ උපදවන ආයතන බවට පත් කිරීම අද වන විට ඇතිවී ඇති භයානක තත්ත්වයට හේතුවයි.

උදාහරණයකට ලෝකයේ දියුණුම රටවල්, ඉතාලිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජර්මනිය වැනි රටවල පවා අද ඇති වී ඇති වසංගතය ඉදිරි යේ රෝගීන් විශාල ප්‍රමාණයකට සාත්තුකිරීමට ඇඳන් හිඟකම පවතී. හේතු වන්නේ පසුගිය වසර 20ක පමණ කාලයක් තුළ සෞඛ්‍ය සේවය ද ක්‍රමක්‍රමයෙන් පුද්ගලිකරණය කිරීමෙන් රෝහල්ද ලාභ උපයන ආයතන බවට පත් කරගැනීමෙන් ඒවාද අඩුම වියදමකින් උපරිම ලාභ ලැබීමේ වැඩපිලිවෙල වලට ගමන් කර තිබීමයි. උදාහරණයකට පසුගිය වසර 20 තුළ ප්‍රංශයේ පමණක් රෝහල් වල ඇඳන් ලක්ෂයක් අඩුකර ඇත. ලෝකයේ ශක්තිමත්ම රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදය මේ මොහොතේ රෝහල්වල වෛද්‍යවරුන් ඔවුනට ආරක්ෂක ඇඳුම් නැතිකමින් අර්බුදයකට මුහුණ දී ඇත. ඊශ්‍රායලය වසර තිහක් වැනි කාලයක් තුළ ‍ක්‍රමවත්ව රෝහල්වල ඇඳන් ප්‍රමාණය අඩුකර මෙන් මේ වන විට අඩුම තත්ත්වයක ඇඳන් ප්‍රමාණයක් පවතී. උදාහරණයකට ඊශ්‍රායල් මිනිසුන් දහසකට රෝහල් වල ඇඳන් ප්‍රතිශතය වී ඇත්තේ 1.8 කි. මේ ප්‍රමාණය වසර 2000දී 2.2 කි. ජර්මනියේ මෙම ප්‍රමාණය 8.2 කි. නවලිබරල්වාදියකු වන නෙතන්යාහු පසුගිය වකවානුවේ සමාජ සුබසාධනය වෙනුවට බදු අඩුකරමින් ව්‍යාපාරිකයින්ගේ සුභසාධනය සදා ඇත.

මෙම නව ලිබරල් වැඩසටහනට අනුව පසුගිය වකවානුවේ රෝහල්වල අවශ්‍යතාවයන් වන ශල්‍ය වෛද්‍යවරුන්ගේ මුහුණු ආවරණ, ස්වසන සඳහා උපකරණ, රෝහල් ඇඳන්, ආදිය සඳහා කරන වැය කිරීම් කපා දමා ඇති නිසාවෙන් ලෝකයේ දියුණුම රටවලුත් කොරෝනා වෛරසය නිසාවෙන් ඇති වූ වසංගත වැනි තත්ත්වයකදී අර්බුදයකට මුහුණ දී ඇත.

කෙසේ වුවද එකක් පැහැදිලිය. මෙතෙක් පැවති ධනපති ක්‍රමය, එනම් නව ලිබරල් ක්‍රමය, තවදුරටත් මින් පසුවත් එසේම පැවතිය නොහැකි බව මේ වසංගතය සහතික කර හමාරය. මෙම ලෝක වසංගතය විසින් ගණනය කළ නොහැකි ප්‍රමාණයට ආර්ථික හානි පමුණුවා ඇති අතර රැකියා විරහිතභාවය සහ ආර්ථික වර්ධන වේගය ඇනහිට වනු ලැබ ඇත. මෙයින් ඉදිරියට බැංකු, මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාදරයන්, සමාගම් ආදියට රාජ්‍ය සමඟින් මේ අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කිරීමට සිදුවන අතර පොදුවේ ලෝක ජනයාගේ සෞඛ්‍යය පිළිබඳව කටයුතු කිරීම අනිවාර්ය වගකීමක් වනු ඇත. ව්‍යාපාර සහ සමාගම් වලට විශාල ලාභ ලැබිය නොහැකි වනවා වුවත් රාජ්‍යය සමඟ එක්වී අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කිරීමට සිදුවේ. ඒ සමාගම්වල සහ ව්‍යාපාරයන්හි පැවැත්මට ක්‍රියාකාරී ලෝකයක් පැවතිය යුතු බැවිනි. රාජ්‍යයට මෙවැනි අර්බුදයකින් ගොඩ ඒමට තරම් හැකියාවක් ඇති නමුත් තනිව මේ සියලු දේවල් යතා තත්ත්වයට ගෙනඒමට ඔවුන්ට ඇති ශක්තිය ප්‍රමාණවත් නොමැත. ඒ නිසා මෙතෙක් සමාජමය දේපළවලින් ලාභ උපයා ගනු ලැබූ සමාගම් එම සමාජමය සේවා නැවත ගොඩනඟා ගැනීමට රාජ්‍ය සමග උර දිය යුතුය.

ඒ වගේම මෙහිදී අප සැලකිල්ලට ගතයුතු ප්‍රධාන කාරණයක් වන්නේ මෙවැනි අර්බුදවලින් ඊළඟට මතුවිය හැකි විශාලම අවදානම වන්නේ ඒකාධිපතියන් රාජ්‍ය බලය හිතුවක්කාරී ලෙස තම අතට ගැනීමට දරන වෑයමයි. එය පොදුවේ ‍ප්‍රජාතන්ත්‍රවාදය අවදානමකට ලක් කරයි.

එමෙන්ම තවත් අවදානමක් වන්නේ මේ අර්බුදය හමුවේ කොයි පුද්ගලයා ජීවිතය රැක ගනීද කොයි පුද්ගලයාට නොහැකිවේද යන්නයි. මේ ලියන මා මෙම අර්බුදය අවසානයේ ජීවතුන් අතර සිටී ද නොසිටිය ද කිව නොහැකිය. අවදානම වළක්වා ගැනීම සඳහා මා හැකි අයුරින් මගේ ආරක්ෂාව සඳහා ගෙය තුලට වී සිටීමට වග බලා ගනිමින් සිටිමි. දේශපාලන ක්‍රමයන් සහ අත්තනෝමතික සූරාකෑම විසින් කරන වැරදි වලට බොහෝවිට වන්දි ගෙවන්නට සිදුවන්නේ පොදුවේ මිනිස් සංහතියටයි. මේ මොහොතේ අපව ආරක්ෂා කර ගැනීම අපේම යුතුකම වී ඇත. නවීන තාක්ෂණයේ දියුණුව තුළින් දුර සිටින පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම මේ මොහොතේ අපේ විධික්‍රමයයි. නමුත් මෙම වසංගතයෙන් පසුව ලෝකය පුරා ජීවිත නැවතත් ස්වභාවික ආකාරයෙන් ගමන් කරනු ඇති බව මගේ විශ්වාසයයි.

මේ වන විට පවතින තත්වයන් අපට දිනෙන් දින තහවුරු කරමින් පවතින්නේ මේ ආකාරයේ විශාල අර්බුදයක් මැඩපවත්වා ගැනීමේ හැකියාව ඇති එකම ආයතනය රාජ්‍ය බවයි. ඒ වාගේම මේ මොහොතේ ලෝකයේ ඇති වී ඇති තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ නව ලිබරල්වාදයේ වගකීම් විරහිත ක්‍රියාදාමයන් බව ලියා තැබිය යුතුය. සමාජමය ක්‍රියාදාමයන් සහ සමාජ සුබසාධනය රට වල දේශපාලනයේ ප්‍රධාන ඉලක්කය සහ වැඩපිළිවෙළ විය යුතුය. ඒ වාගේම ව්‍යාපාරිකයන් ද එයට තමන්ගේ කොටස එක් කළ යුතුය. මේ මොහොතේ දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් නැවත රටවල් කොටු කිරීමට උත්සාහ කළා වුවත් මා විශ්වාස කරන්නේ අද ලෝකය තුල මෙවැනි ප්‍රශ්න විසඳාගැනීම කොටු කිරීම තුළින් කළ නොහැකි බවයි. ඒ වෙනුවට විය යුත්තේ ජාත්‍යන්තර සහයෝගීබව තුලින් මෙවැනි ප්‍රශ්න විසඳාගැනීමට වැඩපිළිවෙළ සකස් කිරීමයි. අනෙත් අතින් කවුරු කැමති වුවත් නොවුනත් ලෝකය නැවත ආපසු හැරවිය නොහැකි ප්‍රමාණයට එකින් එක එකට වෙළී හමාරය. එනිසාම ජාත්‍යන්තර සහයෝගීතාවය අද ප්‍රශ්න විසඳීමට අත්‍යාවශ්‍යය එමෙන්ම ඇති එකම ක්‍රමයයි. කිසිම තනි රටකට අද ලෝකයේ පවතින කිසිම ප්‍රශ්නයක්, ආර්ථික, සමාජමය හෝ දේශපාලන තනිව විසඳිය නොහැක. මෙතෙක් ලෝකය පුරා ඇති ධනය සහ සම්පත් පුද්ගලයින් ගණනාවකගේ පුද්ගලික දේපළ ලෙස ගොඩගසාගෙන ඇත. ඒවා පොදු උවමනාව සඳහා යොදා ගැනීමට වැඩපිලිවෙලක් සහ මෙම ලෝක වසංගතයෙන් පසු ලෝකය ජීවත්විය හැකි තැනක් බවට පත්කර ගැනීමට අනාගත ලෝකය වැඩපිලිවෙල සකස් කරගත යුතුය.

රංජිත් හේනායකආරච්චි | Ranjith Henayaka Arachchi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *