හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?

ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට පත් කරන එක වදනක් තුළ පමනක් විශාල වැදගත්කමක් ඇත. එ වැනි ප්‍රකාශයක් රටක නායකයකු ප්‍රසිද්ධියේ කරන්නේ ඉතා කලාතුරකිනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු නම් කිසිම අයුරකින් එවැනි ප්‍රකාසයක් නොකරනු ලබයි. විධායකය ගන්නා තීරන හා ‍ක්‍රියාත්මක කරන ක්‍රියාවන්ට අධිකරණය හෝ නිලධාරීන්ගේ බාධා ඇති නොකරනු ඇති බව ඔහු බලාපොරොත්තු වන බව ඔහුගේ එම ප්‍රකාසයයි. එහි ඇති ව්‍යංගාර්ථය වන්නේ රටේ දේශපාලන අධිකාරිය ගන්නා තීරණ ‍හා ක්‍රියාවට නගන ක්‍රියාවන්ට අධිකරණය හෝ රාජ්‍ය නිලධාරීන් ඇඟිලි නොගැසිය යුතු බවයි. එනම් තමන්ගේ හිතුමතයට තමන්ට කැමති දෙය කැමති අයුරින් ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩ ඔහුට ඔහුගේ කල්ලියට තිබියයුතුබව ඔහු වෙනත් වචනයකින් පවසා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් තුල ඇති විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුන් බලයන් වෙන වෙනම පැවතිය යුතු බව ඔහුගේ කතාවෙන් ප්‍රකාශ කළා වුවද අවසානයේ එම බලය එසේ නොවිය යුතු බව ඔහු නොකියා කියා තිබේ. විදායකය හිතුමතේ බලය අවබාවිතා කිරීම වැලැක්වීමම අදිකරනයේ කාරිය බව ඔහු නොසලකා හරී, නැතිනම් එහි වැදගත්කමක් නැතිබව පවසාසිටී.

ඕනෑම ඒකාධිපතියෙකුගේ, බලයෙන් උන්මාද වූ අයකුගේ,හෝ ෆැෂිස්ට්වාදියකුගේ උවමනාව වන්නේ සම්පූර්ණ බලය තමන් අත පැවතීම සහ තමන්ගේ පාලනය යටතේ නැතිනම් තමන්ගේ අධිකාරිත්වය යටතේ සියල්ල පවත්වා ගැනීමයි. නමුත් ලෝකයේ කිසිම ඒකාධිපතියකු, පැසිස්ට්වාදියකු හෝ වෙනත් දුෂ්ට දේශපාලන බලවේගයක් රටක් තම පූර්ණ ආධිපත්‍ය යටතේ පවත්වා ගැනීමට සහ පූර්ණ වශයෙන් සියල්ල තමාගේ පාලනය යටතේ පවත්වා ගැනීමට සමත්වී නොමැත. එවැනි බල තණ්හාවෙන් පෙළෙන උන් තව තවත් සියලුම දෙය තමන් යටතේ පවත්වා ගැනීමට, සියල්ල තමා අත යටතට ගැනීමට උත්සාහ කරන නමුත් එයට ඔවුන් අසමත් වනවිට එම උත්සාහයේ ඊළඟ දිගුව වන්නේ එම බලය සඳහා මර්දනයේ හස්තය එසවීමයි. නමුත් රටක් කිසිදිනක එසේ පූර්ණ බලාධිකාරිය කින් පවත්වා ගැනීමට කිසිම ඒකාදිපතියෙකුට හෝ බල ආධිපත්‍යයකට මෙතෙක් ඉඩ ලැබී නොමැත. හිට්ලර්ලා, මුසෝලීනිලා, සුහර්තෝලා, පිනෝචෙට්ලා, ඉඩිඅමීන්ලා හෝ පොල්පොට්ලාටද එය එසේ කල නොහැකිවිය. ඒ කිසියම්ම ආදිපත්යයකට සියල්ල නතුකර ගැනීමකට මිනිසා ඉඩ නොහරින බැවිනි.

ජනාධිපතිවරයා තම නිදහස් දින කතාවෙන් පසු දිගින් දිගටම විවිධ ජන හමුවලදී, රැස්වීම්වලදී හා මාධ්‍ය සාකච්ඡාවන් වලදී පවසා ඇත්තේ අධිකරණය ඔහුගේ වැඩ වලට හරහාට නොසිටිය යුතු බවයි. සමහර අවස්ථාවලදී ඔහු නීතිය සහ අධිකරණ ක්‍රියාවලිය දෙස සමච්චල් ප්‍රකාශනයන් තුලින් එය හෑල්ලුවට ලක් කරන ආකාරය දැකිය හැකිය. මිනිහෙක් පස් කූඩයක් කපාගන්න ගඟෙන් වැලි ටිකක් ගොඩ දාගන්න ගෙයක් හදාගන්න ගහක් කපාගන්න නීතිය බාධාවක් වී ඇති නිසා ඒවා වැනි නීති ගණන් නොගත යුතු බව ඔහු සමච්චලය මුසුකරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. ඔහු මේ කතා කරන්නේ රටේ නීතිය ගැනයි. රටේ දියුණුවට නීතිය බාධාවක් යැයි පවසමින් නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව පවසයි. එසේ නැත්නම් නීතිය තමාගේ හිතුමතයට ක්‍රියා කිරීමට ඇති උවමනාවට බාධා නොකළ යුතු බව පවසාසිටියි.

බොහෝ විට ජනාධිපතිවරයා කරන කතාව සහ රට තුළ සිදුවන අධිකරණ ක්‍රියාදාමය අතර සම්බන්ධයක් ගැන ඔහු කෙලින්ම කතා නොකරයි. එසේ නැතිනම් එය පෙන්නුම් නොකරන තත්ත්වයක් පෙන්නුම් කිරීමට ඔහු වැඩ කරයි. උදාහරණයකට ඔහුගේ ඥාති සහෝදරයා වන උදයංග වීරතුංග වසර ගණනාවක් ලංකා නීතියෙන් සැඟවී සිට, ඔවුන්, එනම් උදයංග වීරතුංග ගේ ඥාති සහෝදරයින් දෙදෙනා රටේ ජනාධිපති සහ රටේ අගමැති වූ විට ඔහු ලංකාවට පැමි‌ණේ. උදයංග වීරතුංග දුටු තැන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු පිට වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයෙකි. ඔහුට එරෙහිව තිබෙන්නේ ඩොලර් මිලියන හතක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලංකා රජයේ මුදල් මිග් ගනුදෙනුව තුළින් ගසාකෑම පිළිබඳව වංචාවකට එරෙහි නඩුවකි. නමුත් එම නඩුව දැන් උසාවියට ඉදිරිපත් කිරීමේදී, එදා පොලිසිය නොව අද පොලිසිය, ඔහුට විරුද්ධව ඇති චෝදනා සරල නිසා ඔහුට උසාවියෙන් ඇප ලබාදිය යුතු බව උසාවිය ඉදිරියේ කියා සිටී. නමුත් ඇත්තෙන්ම නීතියේ ආධිපත්‍ය පිළිබඳ ව අවබෝධයක් ඇති මහේස්ත්‍රාත්වරයා පොලිසියේ ඒ සරල ප්‍රයෝගකාරී ක්‍රියාදාමය ගැන ඔවුනට අවවාද කර ඔවුන්ගෙන් අසන්නේ රජයට රුපියල්  25000 කට වඩා වැඩි වංචාවක් කළ අයෙකුට ඇප ලබා දිය නොහැකිව තිබියදී ඩොලර් මිලියන හතකට වැඩි වංචාවක් කල අයෙකුට පොලිසිය ඇප ඉල්ලන්නේ ඩොලර් මිලියන හතක් යනු රුපියල් විසිපන්දහසකට වඩා අඩු නිසාද කියායි. මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ලබා දීමට පොලීසියෙන් කල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.   පුදුමයට මෙන් ඉන් දින තුන හතරක් ගත වූවාට පසු ජනාධිපති රාජපක්ෂ වෙනත් තැනක ප්‍රකාශයක් කරමින් අදිකරනයට තර්ජනාත්මකව පවසන්නේ තමන්ගේ හොඳ ගතිගුණ නරකට තේරුම්ගෙන අධිකරණය තමා සමග සෙල්ලම් කරන්න ලැහැස්ති නොවිය යුතු බවයි. එහිදී ඔහු අධිකරණයට කෙලින්ම තර්ජනයක් කරන බව පැහැදිලිය.

අනෙත් අතින් මේ වන විට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති හිටපු නාවික හමුදාපතිවරයෙකු වන කරන්නාගොඩට එරෙහිව ඇති නඩුවට ලංකා පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබේ. නමුත් ඒ අතර ඔහු රටේ ජනාධිපතිවරයා මෙන්ම මැති ඇමතිවරුන් සමග ද ප්‍රසිද්ධ රැස්වීම්වල පෙනී සිටී. අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කර ඇති පුද්ගලයකු පොලිසිය විසින් අත් අඩංගුවට නොගන්නේ ඇයි?  මේ පිළිබඳ ඇති කතාවල දී පෙනී යන්නේ රණවිරුවකු නිසා ඔහු උසාවියට කැඳවීමට අයිතියක් නැති බවයි. දින දෙකකට උඩදි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රසිද්ධියේ පවසන්නේ කරන්නාගොඩ වැනි රණවිරුවන් උසාවියට ගෙන ඒමට නීතියට අයිතියක් නැති බවයි. එසේ නම් කැබිනට් ‍ප්‍රකාශක බන්දුල ගුණවර්ධනගේ එම ප්‍රකාශයෙන් නොකියා කියවෙන්නේ මෙම රජය විසින් රණවිරුවන් යයි නම් කරන, එසේ නැත්නම් ඔවුන් සුවිශේෂ පුද්ගලයින් යයි නම් කරන පුද්ගලයන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව නොවේ ද. ඔවුන් නීතියට සහ අධිකරණ ක්‍රියාදාමයන්ට ඉහළින් සිටින සුවිශේෂී පුද්ගලයන් බව මෙම ප්‍රකාශයේ යටි අර්ථය නොවන්නේද? මේ සිදුවෙමින් පවතින්නේ රටෙහි නීතිය පවතින්නේ නමට පමණක් බව එහි පාලන අධිකාරිය විසින් තීරණය කර ඇති බවයි. නීතිය ක්‍රියාත්මක විය හැක්කේ ඔවුන්ට කැමති නම් පමණක් බව කැමති පුද්ගලයන් සඳහා පමණක් බවත් මෙයින් නොකිය වෙන්නේද? නීතිය හමුවේ සියලු පුරවැසියන් සමානය යන්නට ඉහලින් තවත් කොටසක් සිටින බව කැබිනට් ප්‍රකාසකයා කියාසිටින බව නොවන්නේද?

මෙම ක්‍රියාදාමයේම තවත් කොටසක් ලෙස ක්‍රියාත්මක වන රට හමුදා ආදිපත්යයට නතුකර ගැනීමේ ක්‍රියාදාමයද මෙයින් වෙන්කොට වෙනම ගත නොහැක. මිනීමැරුම් චෝදනා සහ රාජ්‍ය මුදල් වංචා පිළිබඳ චෝදනා ලද පුද්ගලයකු වන රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු හමුදා නිලධාරියෙකි. ඔහු රටේ පවතින ‍වයවස්ථාවට පටහැනිව එසේ නැත්නම් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රටේ ආරක්ෂක ඇමති කම තමා අත පවත්වා ගනී. එමෙන්ම ආරක්ෂක ලේකම් වශයෙන් ඔහුගේ පැරණි හිතවතෙකු වන පැහැදිලිවම ෆැෂිස්ට් මතධාරී හමුදා නිලධාරියකු පත්කරගෙන ඇත. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන් විරුද්ධ වන අතර මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් ප්‍රසිද්ධියේ මරා දැමිය යුතු බව ප්‍රකාශ කරනු ලැබීය. ඒවාගේම දිනෙන් දින විවිධ තරාතිරම් වලින් හමුදා නිලධාරීන් රටෙහි සිවිල් ආයතන පද්ධතියේ ප්‍රධානීන් බවට පත් කරමින් පවතී. බොහෝවිට මෙම පත් කිරීම් සිදු කරනු ලබන්නේ ඉතා නිහඬ ආකාරයකිනි. රටේ ජනයා බොහෝවිට මේවා පිළිබඳව කිසිම තැකීමක් නොකරන තත්ත්වයක් උද්ගතව ඇත. පොලිසියේ ක්‍රියාදාමයන් කොටසක් මේවනවිට හමුදාවන් වලට බාරදී හමාරය. හමුදාවන් සිවිල් සමාජමය කටයුතු වලට මැදිකර ගැනීම තුල ජනකටයුතු වලට හමුදා මැදිහත්වීම සාමාන්ය කරනය කරන අතර එය ඉදිරි කාලයේ රට පාලනයට හමුදාමය මැදිහත් විම සාමාන්ය කරනය කරනු ලබයි. මේ වන විට හමුදාවන් සෑම තැනකටම මැදිහත් කර ගනිමින් පවතී. මේ සිදුවෙමින් පවතින්නේ අනාගතයේ ඒකාදිපති ක්‍රියාදාමයන් වලට මන් කැපීමකි.

ඒ වාගේම වැඩවර්ජන හා සිවිල් සමාජ නොසන්සුන්කාරී තත්වයන් වලදී හමුදාව යෙදවීමට දැනටමත් සියල්ල සූදානම් බව ආරක්ෂක ලේකම්වරයා මේ වන විටත් පවසා ඇත. පැහැදිලිව මේ පෙන්නුම් කරන්නේ නිල නොවන හමුදා රාජ්‍යයකට ගමන් කිරීම සහ ඒවාගේම පැසිස්ට් පාලනයක් රට තුල ස්ථාපිත කිරීමට ගමන් කරන ගමනකි. රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ හමුදා කල්ලිය මේ සූදානම් වන්නේ ලංකා සමාජය මෙතෙක් නොදුටු දිසාවකට ගමන් කරවීමටයි. පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදය ඒ තුළ නැති බව නම් සහතිකය. දැන් ලංකා සමාජය ඉදිරියේ ඇත්තේ ගොඩනගාගෙන යන ඒකාධිපති රාජ්‍යයට ඉඩදී නිහඬ වනවාද, එසේ නැත්නම්  පවතින සුළු හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් වදිනවාද යන දෙකෙන් එකක් තෝරාගැනීමය.

 

රංජිත් හේනායකආරච්චි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *