ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපති සහ ජනතාව.

 

රාජාණ්ඩු වලට එරෙහි ජනතාවන් විසින් කරන අරගල තුළින් බිහිවූ සමාජ ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී  සමාජයයි. රාජාණ්ඩුවක් තුලින් පවත්වාගන්නේ ආධිපත්‍යවාදී යටපත් කිරීමේ රාජ්‍ය ක්‍රමයකි. එම සමාජයේ සවාදීන මිනිසුන් නොමැත. මේතත්වයෙන්  මිදී නිදහස් මිනිසා බවට පත්වීමේ මිනිස් පිපාසය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර ගනු ලබයි. නමුත් ඒය දිගුඅරගලයක දිනාගැනීම් මිස තෑගිලෙස ලැබූ දිනාගැනීම් නොවෙති. මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමේ ආරම්භය එතරම් දුර නැත. ඒ වාගේම මේ වනතුරුත් ලෝකයේ රටවල් ප්‍රමාණයක අධිපතිවාදී රාජාණ්ඩු පවතී. රාජාණ්ඩු වලට එරෙහිව කැරලි ගසා සටන් කර සටන් තුලින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතියක්, රාජ්‍ය ක්‍රමයක්, ගොඩනඟා ගනු  ලැබූ රාජ්‍යයන් තුළ බොහෝවිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ විධායක ජනාධිපති ක්‍රමයක් ගොඩනගා ගනු ලැබීය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එසේ නැත්නම් ඡන්ද බලයෙන් තම නියෝජිතයින් පත් කර ගැනීමේ ක්‍රමයට තාම වසර සියයකට වඩා ඉතිහාසයක් නොමැත. ඇමරිකා එක්සත් ජනපදය නිදහස් අරගලය තුලින් 1776 ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් සකස් කෙරුවාවුවත් එම රටේ සියලුම පුරවැසියන්ට, ස්ත්‍රීන්ද ඇතුලුව ඡන්ද බලය හිමි වනුයේ ඉනුත් වසර 100කටත් වඩා කාලයක් ඉක්ම යෑමෙන් පසුව. එංගලන්තය ජර්මනිය ප්‍රංශය වැනි ප්‍රධාන පෙළේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල, උදාහරණයකට ප්‍රංශ විප්ලවයෙන් 1789 ‍රජාතන්ත්‍රවාදී විවස්ථාවක් ලියනු  ලැබුවා වුවත්, 1848 විප්ලව තුළින් රාජ ආණ්ඩු පෙරළා දැමීම කරනු  ලැබුවා වුවත් මේ බොහෝ රටවල් තුළ පිරිමියාට මෙන්ම ස්ත්‍රියටද චන්ද බලය හිමි වන්නේ එක්දාස් නවසිය ගණන් වල මුල දී ය. ජර්මනියේ සර්වජන ඡන්දය ස්ත්‍රීන්ට ලැබෙන්නේ 1918 වනාතර ඒංගලන්තය ස්ත්‍රීනට ඡන්ද අයිතිය ලබාදෙන්නේ 1928 දීය. ඒවාගේම ලංකාවට මේ තත්ත්වය 1931 දී ඒංගලන්තය විසින් ප්‍රධානය කරයි.

මෙයින් මා අදහස් කරන්නේ වසර දහස් ගණනක් වූ මිනිස් සංහතියේ සංවර්ධනයේදී රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයන් විශේෂයෙන්ම සෑම පුද්ගලයකුටම සර්වජන ඡන්දය හිමි වී තාම වසර සියයකට වඩා නැති බව හැඳින්වීමටයි. කාලාන්තරයක් තිස්සේ මිනිසුන් හුරු වී තිබුණේ  කණ්ඩායම් නායකයින්, රජුන් පසුපස යාමටයි. තමන්ගේ ජීවිත පිළිබඳව, තමන්ගේ සමාජ ජීවන ක්‍රමය පිළිබඳව, පුද්ගල අයිතිය පිළිබඳව මේ සමාජයන්හි කිසිදිනක කතිකාවතක් නොතිබුණි. ඔවුන්ගේ සියලු දේ තීරණය කරනු ලැබුවේ රජවරු නායකයින් හෝ වෙනත් ඉහළින් සිටි කණ්ඩායමක් විසිනි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දැක්ම අනුව සෑම පුද්ගලයෙක් ම සමාන ය සෑම අයකුටම සම අයිතියක් තිබේ සෑම පුද්ගලයෙක් ම නිදහස් පුද්ගලයෙකි යන තේරුම වචනවලින් තිබුනා වුවත් එහි සැබෑ අරුතින් ම එතනට ඒම පහසු කාරණයක් නොවේ. රංචු වශයෙන් ජීවත් වීමට පුරුදු වී සිටි මිනිසුන්ද තමන්ගේ නායකයින්ගේ තීරණ අනුව පමණක් ජීවත් වීමට තීරණ ගැනීමට හුරුව තිබූනි. එම සමාජය තමනට ඉහළින් ආධිපත්‍යය දෙන අණකට අනුව ක්‍රියාත්මක වීමට හුරු ව තිබීම ඉතා ස්වභාවික ලක්ෂණය විය. සත්ව සමාජයේ රැලේ අධිපතියා වන ඇල්ෆා සතා විසින් කණ්ඩායම මෙහෙයවන බව අප දන්නෙමු. ඇත්තෙන්ම සත්ව පරිනාමයේ එක් අවධියක් වන මිනිසා ද එයින් මිදී ඇති සෙයක් බොහෝ තැන්වල තාමත් දකින්නට නොමැත. එනිසාම තම ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තමා විසින්ම අතට ගැනීම බොහෝ මිනිසුන් විසින් වචනාර්ථයෙන් පිළිගත්තා වුවත් ක්‍රියාත්මක බවින් එසේ නොවෙති. එනිසාම ඔවුන් තම තිරණයන් සඳහා ඇල්ෆා සතෙකු සොයමින් පසුවෙති. රජාතන්ත්‍රවාදය ඇති කර ගැනීමේදී ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ඔවුන්තුල ඇති මේ සහජ දැක්මයි. රාජාණ්ඩු පෙරළා දැමූ තැන් වල ඇති කර ඇති ‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රම මෙම ආධිපත්‍යයෙන් මිනිසා මුදවා රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයකට ගමන් කිරීමේ පහසුව ඇති කරනු ලබයි. නමුත් සමාජයේ තාමත් බොහෝ කොටසක්, දියුනුම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වල පවා, ඒකාධිපතියන් හෝ රජුන් සමාන ආධිපත්‍යවාදී බලයක් ඇති පුද්ගලයින් තම නායකයන් ලෙස පත්කර ගැනීමට රුචි කමක් දක්වයි. ඇත්ත වශයෙන්ම ඔවුන් සොයන්නේ ඇල්ෆා සතෙකි.

ඇත්ත වශයෙන්ම අප සමාජය යටත්විජිත භාවයෙන් මිදීමට අධිරාජ්‍යවාදීනට එරෙහිව යම් යම් සටන් මෙහෙයවූවා වුවත් අප සමාජය රජවරුන්ගේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැදුණු සමාජයක් නොවෙති. අපට රජවරුන් එපා වී නොතිබුණි. යටත්විජිතවාදීන් එළවා දමා අපට අවශ්‍යව තිබුනේ අපේම රජකු අපව රජකරනු දැකීමටයි. නමුත් ඒ වෙනුවට යුරෝපයේ ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස අප රටට ද යම් ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ ඇතිකරන පාලන ක්‍රමයක් එංගලන්ත අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දෙනු ලැබීය. යුරෝපයේ බොහෝ රටවල සර්වජන ඡන්ද ඇති කිරීමට ප්‍රථම ලංකාවට ඡන්ද බලය ප්‍රදානය කරනු ලැබීය. අපට සර්වජන ඡන්දය මෙන්ම වස්ථාවක් යටතේ පාර්ලිමේන්තු පාලන ක්‍රමයක්ද ලබා දෙනු ලැබීය. අධ්‍යාපන ක්‍රමය නීති පද්ධතිය ආදී නොයෙක් දියුණු ‍ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් රට තුළ ඇති කරනු ලැබීය. ඒවා අපි වුවමනාවට වඩා එදා යුරෝපයේ ඇතිවූ වෙනස්කම් වල බලපෑම තුළින් අපට ලැබුණු දායාදයන් විය.

නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ යම් යම් වෙනස්කම් තිබුනාටවඩා හොඳ අතට ඇති කරගැනීම වෙනුවට ජේ ආර් ජයවර්ධන එදා කරනු ලැබුවේ බලය එක් අයකු අතට යොමු වන විධායක ජනාධිපතිවරයකු බිහිකිරීමයි. රජුන් එපාවී රජුන්ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව සටන් කර නිදහස දිනා නොගත් ජනතාවක් වන ශ්‍රී ලංකා ජනතාව විධායක ජනාධිපති ක්‍රමය ආදරයෙන් වැළඳ ගෙන තිබේ. බලයේ රසවිඳීමට දේශපාලනඥයින් පුරුදු වී සිටී. ‍රජාතන්ත්‍රවාදී රාමු පුළුල් කරනවා වෙනුවට තව තවත් ඒවා බිඳ දැමීම දිගින් දිගටම 18 වෙනි විවස්ථා සංශෝධනය දක්වාම කරනු ලැබීය. අදටත් සමාජයේ ප්‍රධාන කියමනක් වන්නේ, මෙහිදී උගතුන් මෙන්ම බුද්ධිමතුන්ගේ කණ්ඩායමෙන් විශාල ප්‍රමාණයක්ද මෙයට අයත්ය, අපට ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි, අපේ රටේ මේ පවතින ප්‍රශ්න විසඳාගැනීමට නම් අපට ඒකාධිපති බලයක් ඇති නායකයකු අවශ්‍යයි, යන කියමන ප්‍රචාරය කරයි.

‍ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවන් පිළිබඳව දැනුවත් සමාජයක එවැනි තත්ත්වයකදී කෙටි කාලයකට එවැනි නායකයන් පත් වූවා වුවත් ඔවුනට එරෙහි වීමේ ප්‍රවණතාවක් ජනතාව තුළ පවතී. ‍ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සංවාදයකට මුහුණ නොදුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තම උවමනාවක් ලෙස දිනා ගැනීමට සටන් කර තම අයිතීන් ලබා නොගත් ජනසමාජයක තාමත් ශක්තිමත් නායකයින් සහ රජවරුන් සොයන සමාජයක මෙම තත්ත්වය ඉතා භයානක තත්ත්වයකින් අවසන් වීමට ඉඩ තිබේ. එයට උදාහරණ ලොව පුරා වුවමනා තරම් ඇත.  ලෝකයේ විවිධ රටවල ඒකාධිපති රාජ්‍යයන් බිහි වී ඇති බවත් තාමත් තිබෙන බවත් අප දන්නෙමු. ලෝකයේ යම් තැනක පාර්ලිමේන්තුව විසින් පත්කරගත් අගමැතිවරයකු ඒකාධිපතියකු වූඅවස්ථා තිබේ නම් ඒ ඉතා කලාතුරකිනි. නමුත් ඒකාධිපති බලයක් ලෙස තම බලය අයුතු ලෙස පාවිච්චි කළ ජනාධිපතිවරුන් ලෝකය පුරා එමටය. යුරෝපයේ වුවද, ආසියාවේ වුවද, අප්‍රිකාවේ වුවද, ලතින් අමරිකාවේ වුවද මේ සෑම තැනකම එකා ආකාරයෙන් ඒ සිදුවී තිබේ. අදටත් ලෝකයේ එවැනි උදාහරණ එමට ය. අපේ අසල්වැසි රටක් වන පිලිපීනය ඒකාධිපති ජනාධිපතිවරයකුගේ අත්තනෝමතික පාලනයකට යට වී තිබේ. මා මේ කරුණු ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයෙකු අප වැනි රටවලට නුසුදුසු බව කියාපෑමට උදාහරණ වශයෙනි. රපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් අයිතීන් තහවුරු වූ නිදහස් මිනිසුන් ජීවත් වන සමාජයක් නම් ඒ සඳහා ළඟා වීමට අපට පහසුම රාජ්‍ය ක්‍රමය වන්නේ පාර්ලිමේන්තු බලාධිකාරය කින් යුතු පාරිලිමේන්තුවේ බලයට යටත්ව හරියාකාරව ක්‍රියාත්මක වන දේසපාලන බලයක් ඇති රටක් ඇති කර ගැනීමයි. ඒ සඳහා අපට අද පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර අලුත් ව්‍යවස්ථාවක් තුළින් බලය පාර්ලිමේන්තුව සතු කළ යුතු ක්‍රමයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය ය. ප්‍රජාතන්ත්‍රවාදය රටක ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන මෙන්මබඅත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ රටෙහි ජීවත් වන ජනතාවට ‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අවබෝධයක් සහ වුවමනාවක් ඇති කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අවබෝධයක් නැති තැන ඒ පිළිබඳ වුවමනාවක් ද ඇතිවිය නොහැක. බොහෝදෙනකු සිතා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතිය ලෙස යි. යටපත් කිරීම, ආධිපත්‍යට යටත් වීම, දේශපාලඥයන් බලාධිකාරය විසින් රටේ දේපල හොරා කෑම මිනිස්සුන්ට කාරණයක් නොවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු ජනතා පරමාධිපත්‍ය පිලිබඳ ඔවුනට ඇති නොඅවබෝදය නිසා ඇතිවන රජවරුන්ට දේපළ තමන් නිසි පරිදි පරිහරණය කිරීමට ඇති අයිතිය පිළිබඳව ඔවුනට ප්‍රශ්නයක් නොමැති වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු ජනතා පරමාධිපත්‍ය පිළිබඳව අද සමාජය තුළ පැහැදිලි සංවාදයක් ගැඹුරට ගෙන යා යුතුය. ඒ තුළින් ජනතාවට ජාතන්ත්‍රවාදය තුළ ඇති අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන යුතුකම් ආදී සියලු කාරණාවන් පිළිබඳව දැනුවත් කිරීම දැනුවත් වීම වැදගත් වේ. මේ සඳහා අද කළයුතුව ඇත්තේ පැහැදිලි සමාජ සංවාදයක් සියලුම මාධ්‍යයන් සහ දේශපාලන බලවේගයන් තුළින් සමාජගත කිරීමයි. ‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති තැන මිනිසා ප්‍රාර්ථනා කරන්නේ ඒකාධිපතියන්ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති සංවාදය අද ලංකාවට පමණක් සීමා වූ කාරණයක් නොවන අතර එය මේ වන විට ලෝකය පුරා ඇති ප්‍රධාන සංවාද වලින් එකකි. මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක අවශ්‍යතාව මෙතුළින් කියාපෑම මගේ අරමුණයි.

රංජිත් හේනායකආරච්චි

Photo  – openDemocracy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *