ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්!

ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය අප රටේ ප්‍රධාන සමාජ හරයන් බව කියවූවා වුවත් ඇත්තෙන්ම මේ සමාජ ලක්ෂණයන් අද වන විට අප අතර තිබේද? නැත. රටෙහි සුළු ජන කණ්ඩායම් වලට පමණක් නොව රටෙන් පිට සිට රටට පැමිණෙන සරණාගතයින් වැනි පුද්ගලයින්ට අප සලකන්නේ කෙසේද? අපේ ආගන්තුක සත්කාරය රසවිඳිය හැක්කේ අපට මුදල් රැගෙන පැමිණෙන මිනිසුන්ට පමණද? රොහින්‍ගයා  සරණාගතයන්  හෝ වෙනත් රටකින් පැමිණෙන අතමිට හිඟ මිනිස්සුන්ට අපේ සැලකීම කෙසේද? දේශපාලන සරනාගත පකිස්තානුවනට අපේ සැලකීම කෙබඳුද. අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය ඇති හැකි අයට පමනද?  අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය මැනිය හැක්කේ ආරක්ෂාවක් නැති මිනිසුන්ට අප දක්වන මිතුරු බව තුලින් මිස, ඔවුනට දෙන ආරක්ෂාවෙන් මිස, අපට මුදල් වාසි රැගෙන පැමිණෙන අපේ මඩිය තරකර ගැනීමට උපකාරකයක් වන පුද්ගලයින් වෙත අප දක්වන මිත්‍රශීලී බව තුලින් නොවෙති. එසේ අපට වාසි ගෙනෙන අයට පමනක් සැලකීම ආගන්තුක සත්කාරයකට වඩා ව්‍යාපාර කලමනා කරනයකි.

අපේ සමාජයේ සැබෑ රූපය අප රට ඇතුලට මෙන්ම පිටරට වලට ද පෙන්නුම් කරන්නේ එදිනෙදා කෙරෙන මහා වංචාවල්, මුදල් යටි මඩි ගසා ගැනීම් අල්ලස් දූෂන වැනි ක්‍රියාවන්හි ඇති මජරබව තුලිනි. රටෙහි ප්‍රධාන පුරවැසියන් මෙන්ම නීතියේ ආධිපත්‍ය සඳහා ක්‍රියා කළ යුතු ආයතනයන් විසින් ද දවසින් දවස කරන වංචා සහ මගඩි ආදිය විසඳීමට ගන්නා ක්‍රියාවන්හි ස්වරූපය ඇත්ත වශයෙන්ම විහිළු සහගත බවක් පෙන්නුම් කරයි. ඊර්ෂ්‍යාව, කුහකත්වය, වෛරය සමාජයේ එදිනෙදා ගාමක බලවේගය බවට පත්වී ඇති අතර අප අපවම රවටා ගැනීමේ මෝඩකම් වලින් සමාජය වැසී අවසානය. මේ සියල්ලෙහි මූලික හරය වී ඇත්තේ එසේ නැත්නම් මේ සියල්ලට මූලිකම හේතුව වන්නේ ජාතිවාදී අයුරකින් සමාජය ලෝකය දෙස බැලීමට හුරු කර ඇති බවයි. මෙය අද වනවිට පුළුල් ලෙස සමාජගත කර ඇති මානසික මට්ටමකි. දෑස් වසාගත් සමාජයක්, එකිනෙකා ගැන සැකයෙන් බලන සමාජයක්, තම අසල්වැසියා ගැන සැකකරන එකිනෙකාගෙන් වෙන්කර ඇති සමාජයක්, ඒ වගේම දිනෙන් දින පිරිසිදු ශුද්ධ වූ බවක් එසේ නැත්නම් ශුද්ධවූ වර්ගයක් සොයමින් යන සමාජයක් පැහැදිලිවම ජාතියක් වශයෙන් එකිනෙකා භේද භින්න වී සිටීම සාමාන්‍ය දෙයකි.

ඉතා හොඳින් සිතා බලා විදහා පෙන්වන සක්තිමත් පූර්ව නිගමනයන් රාසියක් අප එකිනෙකා මත පටවා ඇති හෙයින් අප අපවම අනෙකාගෙන් වෙන් කරගනු ලබයි.මේ සිතිවිලි විසින්ම අප අපට මවාගත් සතුරකුපෙන්වා ගනිමින් රටේ සියලු අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදී හෝ මිනිස් අයිතීන් සියල්ල අපම වළලා ගනී. වෛරය සෑම විටම විෂ පිරුණු ආයුධයකි. මිනිස් සමාජයක් වශයෙන් අප තුළ තිබූ ආදරණීය හැඟීම් සහ සහයෝගීතාවය වාගේම එකිනෙකා කෙරෙහි ඇතිකරගන්නා දයාබර බව මෙම වෛරී හැඟීම් තුළින් විනාශ කර දමා ඇත. සහයෝගීතාවය සහ අනෙකා පිළිබඳ කරුණාව මෙනිම අනෙකා දෙස මානුෂිකව බැලීම යන කාරණා “දුර්වලකමක්” යයි ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන් මතයක් ලෙස ප්‍රචලිත කරන අතර ජාතිවාදීන් විසින් අනාරක්ෂිතබව යන්න එතැනට ආදේසකර සමාජයෙන් ඉවසීම ඉවතට ඇද දමා ඇත. අප සමාජය අපටත් නොදැනීම, අප හුවා දක්වන සමාජ හරයන්, එසේ නැත්නම් මිනිසුන් එකිනෙකා වෙත දක්වන සහයෝගීතාවය සහ දයාබර බව ආදි ගුණාංගයන්ගෙන් විශාල දුරක් වෙන්කර ඇති අතර ජාතිවාදීන් සහ ජනප්‍රිය වාදීන් විසින් සමාජගත කර ඇති බිය සහ අනාරක්ෂිත බව වැනි කාරණා තුළ තම හිස් හිරකරගෙන සිටී. එපමනක් නොව බියෙන් නිදහස් වීමට නම්, අපගේ ආරක්ෂාව සකස් කරගැනීමට නම්, අප මේ සමාජගත කර ඇති වෛරය, සැකය සහ සමාජ කුහකත්වය තුළ ස්තිරව පැවතිය යුතු බව අපම සපත කරගෙන ඇත. මෙසේ ආරක්ෂිත බව සොයන බියට පත් වී සිටින සියලු දෙනා ජාතිවාදී වෛරයෙන් පෙළෙනවුන් නොවනමුත් ඔවුන් ජාතිවාදී වෛරයේ විස පතුරු වන්නන්ගේ මතයන් සමග බැඳී ඇත්තේ මේ පිළිබඳ සිතා බැලීමකින් තොරවය.

මෙම ජනප්‍රියවාදී මත වපුරන්නන්ට අනුව මුළු ලෝකයම සැදී පැහැදී සිටින්නේ මේ අපේ පුංචි දිවයිනේ සිංහල බෞද්ධ රාජ්‍යය සහ සංස්කෘතිය විනාශ කර දැමීමට බවයි. එයින් නිදහස් වීමට ලෝකයට බැන අඬ ගැසීම මෙම ජනප්‍රිය වාදීන්ගේ ගති ස්වභාවය වන නමුත් ලෝකය අද පවතින තත්වය අනුව ලොව කිසිම රටකට තනිව පැවතිය නොහැකි බව පැහැදිලිය. එය අප වැනි පුංචි දූපතකට පමණක් නොව ඉතා විශාල රටකට වුවත් මේ වන විට පොදු ලක්ෂණයකි.

බොහෝවිට එක්කෝ අපි මුස්ලිම් විරෝධය, දෙමළ විරෝධය හෝ බටහිර විරෝධය වැනි සූත්‍ර සමාජගත කර ගෙන ඇත. එතුළින් සිදුවිය හැක්කේ අපේම දියුණුවට බාධාවක් මිස උපකාරයක් නම් නොවන බව සහතිකයි.

 

ජාතිවාදී සමාජ බලවේග හෝ ජාතිවාදී මිනිසුන් ඒ ඒ රටට අනුව ඒ ඒ කාරණාවන් තමන්ගේ ජාතිවාදය ජනප්‍රිය කිරීමට හේතු ලෙස ගෙන හැර පායි. ලංකාවේදී ඒ සඳහා සිංහල බෙෳද්ධ සුවිශේසී බවත් මුස්ලිම් සහ දෙමළ විරෝධයත් වන විට, ඉන්දියාවේදී එය හින්දුන්ගේ ආදිපත්‍ය කරගනී. ජර්මනියේදී ආර්‍යය ජර්මානු වර්ගයේ සුපිරිබව කතාකරන අතර එංගලන්තයේදී සුදු මිනිසාගේ බල ආදිපත්‍යය ගැන නන්දොඩති. මේ අයුරින් මෙම ජාතිවාදය එහි වෛරී විෂ රටින් රටට වෙනස් වන අතරම එක හා සමානද වන්නේය. ඒ මේ සියල්ලන්ගේම න්‍යශ්ටිය ජාතිවාදය වීමෙනි.

ජාතිවාදය මූලික පදනම කරගත් දේශපාලන බලවේගයන් සෑමවිටම ඔවුන්ට සුවිශේෂ වූ හේතු ගෙන හැර පාන්නේ තම වර්ගයේ හෝ ආගමේ නැතිනම් තමන්ගේ හමේ පැහැය වැනි, එසේ නැත්නම් තවත් විශේෂිත හේතුවක් තම ජන කණ්ඩායමට හුවාදක්වමින් එය සුපිරි දෙයක් බව විදහා පාමින් එය ආරක්ෂා කරගැනීමේ යුතුකම තමන් සතු බවද පවසමිනි. ඒ වගේම මේ සෑම තැනකටම පොදු අනෙක් කාරණය වන්නේ ඒ ඒ සුවිශේෂී තත්ත්වය පෙන්වන අතරම එම සුවිශේෂී බලවේගය විනාශ කිරීමේ, විනාශ වී යෑමේ හෝ විනාශ කිරීමට මාන බලන බලවේගයන් සැදී පැහැදී සිටින හෙයින් එයට එරෙහිව ඒකරාශී විය යුතු බවයි. එම තුළින් ඔවුන් තම වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනත් කාරණයක් මුල් කරගත් ජාතිවාදයක් ජනප්‍රිය ආයුධයක් ලෙස මුවහත් කරනු ලබයි. මෙම කාරණය ඉතිහාසයේ ජීවත්වූ ජාතිවාදීන්ට සහ වර්ගවාදීන්ට, වර්තමානයේ සිටින ජාතිවාදීන්ට හෝ වර්ගවාදීන්ට, අනාගතයේ ඇති වීමට යන ජාතිවාදීන්ට හෝ වර්ගවාදීන්ට පොදු නියාමයකි. එනිසා ජාතිවාදය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එදත් අදත් හෙටත් පවතී. ඒ වාගේම ජාති වාදය එහි නිසගයෙන්ම අදිපතිවාදීය, ඒකාදිපතිවාදීය. එකකු කොන්කිරීම අනෙකා යටපත් කිරීම එහි පදනමින්ම අපරාධයකි. අපරාධයට එරෙහිව සටන්වැදීම මානුෂීයය. අද සාදාරනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදීම මේ ඒකාදිපතීත්වයට එරෙහිව සටන් වැදීමයි.

 

රංජිත් හේනායකආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *